විපතට පත් ධීවරයින් බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව විශේෂ මෙහෙයුමක් දියත් කරයි
ජුනි 28, 2025අද (ජුනි 28) දින උදෑසන කොග්ගල ප්‍රදේශයට දකුණින් වෙරළට ඔබ්බෙන් වන මුහුදු තීරයේදී ධීවරයින් පස් දෙනෙකු රැගත් ට්‍රෝලර් යාත්‍රාවක් පෙරළී ඇති අතර, අලුත්ගම වෙරළට ගසාගෙන පැමිණ ඇති තවත් හිස් ඩිංගි බෝට්ටුවක් සොයාගෙන ඇත. ඒ හේතුවෙන් අනතුරට පත් ධීවරයන් මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ක්‍ෂණික ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කරන ලදි.
මෙම අනතුරු සම්බන්ධයෙන් තොරතුරු ලැබීමෙන් පසු, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් එම ධීවරයන් පිළිබඳ කඩිනමින් සොයා ගැනීමට සහ ඔවුන් මුදා ගැනීම සඳහා විශේෂ නිරීක්‍ෂණ මෙහෙයුම් දියත් කරන ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට උපදෙස් ලබා දුන්නේය.
කඩිනමින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාව සිද්ධිය වූ ස්ථානයට වේග ප්‍රහාරක FAC (P491) යාත්‍රාවක් යෙදවීය. මේ වන විට එක් ධීවරයෙකු බේරාගෙන ඇති අතර, ඔහු වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුකොට තිබේ. තවද, නාවික හමුදා විශේෂ කිමිදුම් කණ්ඩායමක් සමඟින් FAC P420 වේග ප්‍රහාරක යාත්‍රාව ද මෙහෙයුම් සඳහා යොදවා ඇත. ට්‍රෝලර් යාත්‍රාවේ සිදු වූ අනතුරෙන් දිවි අහිමි වූ ධීවරයන් දෙදෙනෙකුගේ මෘත ශරීර මේ වනවිට ගොඩගෙන ඇති බවද, වාර්තා වේ. එහි සිටි අනෙක් පුද්ගලයා සහ ඩිංගි යාත්‍රාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සොයා ගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් ක්‍රියාත්මක කෙරෙමින් පවතී.
එමෙන්ම, ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ වනවිට Y-12 ගුවන් යානයක් භාවිතා කරමින් අතුරුදහන් වූ ධීවරයින් සොයා ප්‍රදේශය නිරීක්‍ෂණය කරමින් සිටී. ඔවුන්ට කඩිනමින් අවශ්‍ය සහාය ලබාදීම සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානාවක් ද කොග්ගල ගුවන් කඳවුරේ ස්ථානගත කර ඇත.
ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී ඇතිවිය හැකි ඕනෑම හදිසි ආපදා අවස්ථාවකට මුහුණ දීමට ජාතියේ ආරක්‍ෂක සේවාවන්හි පෙර සූදානම සහ සම්බන්ධීකරණය මෙම ඒකාබද්ධ මෙහෙයුම මගින් ඉස්මතු කෙරේ. දැනට එම මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි සහගත මුහුදු ස්වභාවය පවා නොතකමින් ගලවා ගැනීමේ මෙහෙයුම කඩිනම් කිරීම සඳහා නාවික සහ ගුවන් හමුදා කණ්ඩායම් ප්‍රාදේශීය ආයතන සහ ධීවර ප්‍රජාවන් සමඟ එක්ව කටයුතු කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙසත්, මෙම අඛණ්ඩ ගලවාගැනීමේ මෙහෙයුම් වලට උපකාරී විය හැකි ඕනෑම සිදුවීමක් නිරීක්‍ෂණය වුවහොත් ඒ පිළිබඳ අදාළ අංශ වෙත වාර්තා කරන ලෙසත් වෙරළබඩ ප්‍රජාවගෙන් සහ සෙසු ධීවරයන්ගෙන් බලධාරීන් ඉල්ලා සිටී. ඉදිරියේදී මෙම මෙහෙයුම සම්බන්ධයෙන් වැඩිදුර යාවත්කාලීන තොරතුරු ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කෙරේ.