ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ ඉදිකිරීම්වල ප්‍රගතිය සමාලෝචනය කෙරේ

ජුලි 01, 2025

ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණ ව්‍යාපෘතියෙහි වත්මන් ප්‍රගතිය පිළිබඳ විශේෂ රැස්වීමක් අද (ජූලි 01) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. 

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී වත්මන් ඉදිකිරීම් වල ප්‍රගතිය, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන අභියෝගවලට මුහුණදීම සහ අන්තර් ආයතන සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම තුලින් නිශ්චිත කාලසීමාව තුල අදාල නිමකිරීම් අවසන් කිරීම ආදී කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන ලදි. 

එහිදී ව්‍යාපෘති භාර නිලධාරීන් විසින් මෙම ව්‍යාපෘතියෙහි ප්‍රධාන අංගයන්, එහි ඉදිකෙරෙන යටිතල පහසුකම් සංවර්ධනය කරන ආකාරය සහ එම ඉදිකිරීම් වලට අදාළව සංශෝධිත කාලරාමු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළහ. ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ක්ෂේත්‍රයේ ප්‍රධානතම මෙහෙයුම් සම්බන්ධිකරණ මධ්‍යස්ථානය වශයෙන් මෙම සංකීර්ණයේ උපායමාර්ගික වැදගත්කම අවධාරණය කළ ආරක්‍ෂක ලේකම්වරයා, ඉදිකිරීම් කටයුතු වල ඉහළ ගුණාත්මකභාවයක් පවත්වා ගැනීම මෙන්ම නිශ්චිත කාලසීමාවන්ට අනුකූල වීමද අත්‍යවශ්‍ය බවද ප්‍රකාශ කළේය.

තිරසාර සහයෝගීතාවයේ වැදගත්කම ඉස්මතු කරමින්, ත්‍රිවිධ හමුදාපතිවරු ව්‍යාපෘතිය සඳහා ඔවුන්ගේ පුර්ණ සහයෝගය නැවත තහවුරු කළහ.

මෙම අවස්ථාවට, ආරක්‍ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ව්‍යාපෘතිය භාර නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ. ව්‍යාපෘතිය අවසානයේ මෙම සංකීර්ණය ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක පරිපාලනය සඳහා අත්‍යවශ්‍ය අති නවීන පහසුකම් සහිත, ආරක්‍ෂිත මූලස්ථානයක් බවට පත් කෙරෙනු ඇත.