නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සහ බෝලගල
ප්‍රවීණ රණවිරු නිවස්නයේ සංචාරයක

ජුලි 13, 2025

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) පසුගියදා (ජූලි 12) ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සහ බෝලගල ප්‍රවීණ රණවිරු නිවස්නයේ සංචාරයක නිරත විය.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික) විසින් එම පරිශ්‍රය වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, ඉන් අනතුරුව ඔවුන් ප්‍රවීණ රණවිරු නිවස්නයේ සංචාරය නිරත වූහ. 

එහිදී, පැවති තේ පැන් සංග්‍රහය අතරතුර නියෝජ්‍ය අමාත්‍යවරයා එහි නේවාසික රණවිරුවන් සමඟ සුහද පිළිසදරක නිරත වෙමින් ඔවුන්ගේ සුවදුක් සොයා බැලීමට අමතක නොකළේය. 

ඉන්පසු සේවා මුක්ත සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සහ ඉදිකිරීම් සිදුකිරීමට යෝජිත නව ඉඩමේ සංචාරයක නිරත වූ මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) විසින් එම ව්‍යාපෘතියේ කටයුතු නිසි ප්‍රමිතියකින් යුතුව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ව්‍යාපෘති භාර නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා සහ නිලධාරි මණ්ඩලය සමඟ පැවති විශේෂ සාකච්ඡාවේදී රණවිරු නිවස්නයේ නේවාසික රණවිරුවන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දැනට මුහුණ දෙන ගැටළු පිළිබඳව සාකච්ඡා කලහ. එහිදී, යොමු කෙරුණු ගැටළුවලට විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ අවශ්‍ය පිළියම් ලබාදීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නේය.

සංචාරය අවසානයේ සේවා මුක්ත භට සංගමයේ විධායක කමිටු සාමාජිකයන් හා අනුබද්ධිත සංගම්වල සභාපතිවරු, ලේකම්වරු, හා අනු කමිටු සභාපතිවරු ඇතුළු නිලධාරීන් ඇමතූ අමාත්‍යවරයා විශ්‍රාමික රණවිරුවන්ගෙන් දේශයට සිදු කෙරුණු විශිෂ්ඨ සේවය ඉතා උසස් කොට සලකන බවත්, රජය හා ආරක්‍ෂක අමාත්‍යාංශය ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගනු ලබන බවත්, අවධාරණය කළේය.

මෙම අවස්ථාවට සේවා මුක්ත භට සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා සාමාජිකයන් මෙන්ම, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හා ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.