ආරක්‍ෂක ලේකම්වරයා මහජන දිනයේදී රණවිරුවන්ගේ සහ රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ දුක්ගැනවිලි පිළිබඳ සොයා බලයි

ජුලි 16, 2025

යුද ප්‍රවීණයන්ගේ සහ දිවි පුදකල රණවිරුවන්ගේ පවුල්වල සුභසාධනය සඳහා අමාත්‍යාංශයේ කැපවීම නැවත තහවුරු කරමින්, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අද (ජූලි 16) අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මහජන දින වැඩසටහනේ ප්‍රධානත්වය දැරීය.

මෙම මුලපිරීම විශ්‍රාමික සහ ආබාධිත රණවිරුවන්ගේ මෙන්ම රට දැය වෙනුවෙන් දිවි පුද කළ පවුල්වල සාමාජිකයන්ගේ දුක්ගැනවිලි සහ පවතින පාලන ගැටලු විසඳීමට පිටුවහලක් විය.

වැඩසටහනේදී ආරක්‍ෂක ලේකම්වරයා ඔවුන්ගේ අභියාචනාවලට අවධානය යොමු කරමින්, මතු වූ ගැටළු විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඔවුන්ගේ යහපැවැත්මට අදාළ සුභසාධන වැඩසටහන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීමේ වැදගත්කම ද ඔහු මෙහිදී අවධාරණය කළේය.

මෙම ක්‍රියාත්මක වැඩසටහන, යුද ප්‍රවීණයන්ගේ සහ ජීවිත පරිත්‍යාගය කළ රණවිරුවන්ගේ පවුල්වල ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා අමාත්‍යාංශයේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරයි.