එක්සත් ජනපද ‍ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ජුලි 21, 2025

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් Matthew House අද (ජූලි 21) දින කොළඹ පිහිටි නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ කාර්යාලයේදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය. මෙම හමුවට එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක Seth Nevins ද එක්විය.

එහිදි, මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) එක්සත් ජනපද දූත පිරිසට උණුසුම් පිළිගැනීමක් ලබා දුන් අතර, එය ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර දිගුකාලීන සහයෝගීතාවය පිළිබිඹු කරන ලදි. ඉන්පසුව පැවති සාකච්ඡාවෙදි ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව, සයිබර් ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම සහ ආරක්‍ෂක මුලපිරීම්වල අඛණ්ඩ සහයෝගීතාවය යන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කළේය.

තවදුරටත්, ශක්තිමත් ආරක්‍ෂක සබඳතා පවත්වාගෙන යාමේ වැදගත්කම, ආර්ථික අවස්ථා සහ සමුද්‍රීය ආරක්‍ෂාව පිළිබඳ එකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව දෙපාර්ශවයම අදහස් හුවමාරු කර ගත්හ. මෙම හමුවේදී ඉන්දු-පැසිෆික් කලාපයේ පුළුල් උපායමාර්ගික අවශ්‍යතා සහ අදාළ ආරක්‍ෂක අංශ අතර සෘජු සන්නිවේදන මාර්ග පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද අවධානය යොමු විය.

මෙම ඉහල මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡාව කලාපීය ස්ථාවරත්වය සහ සාමය සඳහා අන්‍යොන්‍ය අවබෝධය වර්ධනය කිරීමට සහ ආරක්‍ෂක රාජ්‍ය තාන්ත්‍රිකභාවය වැඩි දියුණු කිරීමට දෙරටේම කැපවීම නැවත තහවුරු කළේය.