Regional Resilience at Asian Preparedness Partnership වැඩමුළුවේදී ආරක්‍ෂක ලේකම් කලාපීය ඔරොත්තුදීමේ හැකියාව පිළිබඳ අවධාරණය කරයි
ජුලි 24, 2025ඊයේ (ජූලි 23) දින කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් සිනමන් ලයිෆ් හිදී පැවති Regional Resilience at Asian Preparedness Partnership වැඩමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විශේෂ දේශනයක් පැවැත්විය.
“Sustaining Collaboration: Advancing the Future of National Preparedness Partnerships” යන තේමාව යටතේ පැවති දෙදින වැඩමුළුවට කාම්බෝජය, ලාඕසය, මියන්මාරය, නේපාලය, පකිස්ථානය, පිලිපීනය සහ ශ්‍රී ලංකාව යන ආසියානු රටවල් හතක නියෝජිතයින් එක්රැස් විය.
Regional Resilience at Asian Preparedness Partnership වැඩමුළුව 2016 වර්ෂයේදී ආරම්භ කළ දා සිට එහි බහු පාර්ශ්වකරුවන්ගේ සහාය අගය කරමින්, තිරසාර මෙන්ම ජාතික වශයෙන් ආපදා සූදානම් කිරීමේ පද්ධති ගොඩනැගීමේ වැදගත්කම ආරක්‍ෂක ලේකම්වරයා අවධාරණය කළේය. පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සහ ප්‍රජා පාදක ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම සඳහා රජය, සිවිල් සමාජය සහ පෞද්ගලික අංශය ඵලදායී ලෙස සම්බන්ධ කර ඇති Sri Lanka Preparedness Partnership හරහා ශ්‍රී ලංකාවේ අත්දැකීම් ඔහු ඉස්මතු කළේය.
ජාතික ආරක්‍ෂාව සඳහා ආපදා අවදානම් අවම කිරීමේ සහ දේශගුණික ඔරොත්තුදීමේ තීරණාත්මක කාර්යභාරය පිළිබඳවද ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී අවධාරණය කළ අතර, ස්වාභාවික හේතුන් මත හා මිනිසා විසින් නිර්මාණය කරන ලද උපද්‍රව ස්ථාවරත්වයට සහ සංවර්ධනයට බරපතල අභියෝග එල්ල කරන බවද, සඳහන් කළේය.
අපගේ සම සභාපතිවරුන් තිදෙනා වන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, Janathakshan GTE සමාගම සහ ලංකා වාණිජ මණ්ඩලය යන ආයතනවල නායකත්වය යටතේ, Sri Lanka Preparedness Partnership ජාතික වශයෙන් හිමිකාරීත්වයක් දරන බහු - අංශික වේදිකාවක් ලෙස ඉස්මතු වී ඇති බවද, ඔහු පැවසීය.
ආසියානු ආපදා සූදානම මධ්‍යස්ථානය සහ බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනමේ නායකත්වය සහ සහයෝගය වෙනුවෙන් කෘතඥතාව පළ කරමින්, හවුල්කාරිත්වයන් කල් පවතින පද්ධති බවටත් අදහස් ප්‍රයෝගිකව ක්‍රියාත්මක වන ක්‍රියාවන් බවටත් පරිවර්තනය කිරීමේ වැදගත්කමද, මෙම අවස්ථාවේ ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික) මෙම වැඩමුළුවේ පිළිගැනීමේ කතාව සිදු කළ අතර, ආසියානු ආපදා සූදානම මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්‍ෂ Aslam Perwaiz සහ ගේට්ස් පදනමේ හදිසි ප්‍රතිචාර දැක්වීමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ආචාර්ය Valerie Berno ආරම්භක දේශන පැවැත්වුහ.
කලාපීය සහයෝගීතාව තර කිරීම සහ ආරක්‍ෂිත සහ වඩාත් ඔරොත්තු දෙන ආසියාවක් සඳහා උපාය මාර්ග සංවර්ධනය කිරීම මෙම වැඩමුළුවේ අරමුණ විය.