මහජන චීන විමුක්ති හමුදාවේ 98 වන සංවත්සර සැමරුමේදී ශ්‍රී ලංකා - චීන ආරක්‍ෂක සබඳතා යළි තහවුරු කෙරේ

ජුලි 31, 2025

මහජන චීන විමුක්ති හමුදාවේ 98 වන සංවත්සර සැමරුම ඊයේ (ජූලි 30) දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුන අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගී විය. 

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද මෙම සැමරුම් උත්සවයේ ආරාධිතයෙකු ලෙස  සහභාගී වූ අතර, මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති ගරු  Qi Zhenhong මැතිතුමා විසින් එම අවස්ථාවට පැමිණි සම්භාවනීය අමුත්තන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

රැස්ව සිටි සම්භාවනීය පිරිස අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් මහජන චීන විමුක්ති හමුදාවට උණුසුම් සුබ පැතුම් එක් කළ අතර, නවීන තාක්‍ෂණය කැටි වූ යුද තත්වයන්වලදී සහ ආරක්‍ෂාවේ විවිධ අභියෝග ජය ගැනීමේදී මහජන චීන විමුක්ති හමුදාවේ වසර 98 ක විශිෂ්ට ඉතිහාසය තුල ඔරොත්තුදීමේ හැකියාව පිළබඳව සහ නවීන තාක්‍ෂණය සමඟ ලබා ඇති දියුණුව පිලිබඳව අගය කළේය.

මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාව සහ චීනය අතර සියවස් ගණනාවක සිට පැවැත එන සංස්කෘතික හා ඓතිහාසික බැදීම පිළිබඳවත් වසර 68 කට අධික රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයකින් ශක්තිමත්ව ගැබුරින් මුල් බැසගත් මිත්‍රත්වය පිළිබඳවත් ඔහු ඉස්මතු කළේය. මෙම වසරේ ජනවාරි මාසයේදී මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් මෙරට ජනාධිපතිවරයා චීනයේ සිදුකළ සංචාරය ද ඔහු සිහිපත් කළේය. ඓතිහාසික රබර් - සහල් ගිවිසුමේ දක්වා ඇති පරිදි ස්වාධීනත්වය, ස්වයං විශ්වාසය, සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය සහයෝගය යන වටිනාකම් මෙම සංචාරය මගින් නැවත තහවුරු කරන ලද අතර, දෙරට අතර උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය තවදුරටත් ත්‍රිව් කිරීමට මග පෑදීය.

ශ්‍රී ලංකාව සමඟ චීනය දක්වන ස්ථිර ආරක්‍ෂක සහයෝගීතාවයට නියෝජ්‍ය අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළ අතර, දශක තුනක යුද්ධයේදී චීනය ලබාදුන් අමිල සහාය සහ යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රජාවන්ගේ ජීවනෝපායන් නඟා සිටුවීම සඳහා පශ්චාත් යුද සමයේ සිදුකළ  සංවර්ධන මුලපිරීම්වල චීනයේ ක්‍රියාකාරී භූමිකාවද, අගය කළේය.

හමුදාමය සම්පත් හා හැකියාවන් වර්ධනය, පුහුණු සහ වෘත්තීය හුවමාරු වැඩසටහන් මෙන්ම, විශේෂයෙන් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන්ගේ මෙහෙයුම් හැකියාවන් ශක්තිමත් කිරීමේදී චීන මහජන විමුක්ති හමුදාවේ අඛණ්ඩ සහයෝගයද ඔහු අගය කළේය.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිවරු, අමාත්‍යවරු, රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයින්, ත්‍රිවිධ හමුදාපතිවරු මෙරට චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Senior Colonel Zhou Bo,, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.