රණවිරුවන්ගේ සුභසාධනය පිළිබඳ මහජන දිනයේදී
ආරක්‍ෂක ලේකම්වරයා සොයාබලයි

අගෝස්තු 01, 2025

විශ්‍රාමික, රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සහ රටදැය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය හා පවතින ගැටළු පිළිබද සොයාබැලීමේ අරමුණින් සිදුකරනු ලබන මහජන දින වැඩසටහන අද (අගෝ 01) දින ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වන ලදි.

ආරක්‍ෂක ලේකම්වරයා මෙම මහජන දින හමුවට පැමිණි රණවිරුවන්ගේ හා දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අවශ්‍යතා සහ අභියාචනාවලට අවධානය යොමුකරමින් ගැටලු විසඳීමට සහ ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කිරීමට කඩිනම් සහ සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ බලධාරීන් වෙත උපදෙස් දුන්නේය.

රණවිරුවන් ජාතියට කල අමිල සේවය සහ කැපකිරීම් වෙනුවෙන් පිදෙන ගෞරවයක් ලෙස සුභසාධන මුලපිරීම් ඵලදායීව සහ නිසිපරිදි ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ආරක්‍ෂක ලේකම්වරයා තවදුරටත් අවධාරණය කළේය.

ක්‍රියාත්මක කරනු ලබන මෙම මහජන දින වැඩසටහන මගින් රණවිරුවන්ගේ සහ රටදැය වෙනුවෙන් ජිවිත පුදකල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා අමාත්‍යාංශයේ නොසැලෙන කැපවීම පෙන්නුම් කරයි.