චීනය රුපියල් මිලියන 400 ක ආපදා සහන උපකරණ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

අගෝස්තු 05, 2025

මහජන චීන සමූහාණ්ඩුව ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 400 ක් වටිනා ආපදා සහන උපකරණ පරිත්‍යාග කිරීම කොළඹ ආපදා කළමනාකරණ අංශයේ අද (අගෝස්තු 05) පැවති උත්සවයකදී සිදුවිය. අද උදෑසන පැවති මෙම නිළ උත්සවයේදී චීන තානාපති ගරු Qi Zhenhong මැතිතුමා විසින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) වෙත එම මානුෂීය ආධාර තොගය නිළ වශයෙන් භාරදීම සිදුකරන ලදි. 

උත්සව අවස්ථාවේදී අදහස් පලකළ ආරක්‍ෂක ලේකම්වරයා චීනය ශ්‍රී ලංකාවට ලබා දෙනු ලබන අඛණ්ඩ සහයෝගයට සිය කෘතඥතාව පළ කළේය. තවද, ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස හේතුවෙන් නිරන්තරයෙන් උග්‍ර ගංවතුර තත්ත්වයන් වැනි ස්වාභාවික විපත්වලට මුහුණ දෙන අවස්ථාවක මෙම පරිත්‍යාග කිරීම වෙනුවෙනුත් සිය කෘතඥතාව පුද කරන බවද ඔහු පැවසීය. එමෙන්ම, විපතට පත් ප්‍රජාවන්ට කඩිනම් සහ ඵලදායී සහන සැපයීම සඳහා මෙම උපකරණ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් මනා කළමනාකරණයකින් යුතුව දිස්ත්‍රික් පරිපාලන යාන්ත්‍රණ හරහා ක්‍රමවත් අයුරින් බෙදාහරින බවද ඔහු අවධාරණය කළේය. තවද, දෙරට අතර, ඇති ශක්තිමත් බැඳීම් ඉස්මතු කරමින් සිදුකළ මෙම පරිත්‍යාගය මගින් ශ්‍රී ලංකාව සමඟ අවශ්‍යම අවස්ථාවන්හිදී චීනය දක්වන නොසැලෙන සහයෝගීතාවය පිළිබිඹු වන බවද, අවධාරණය කලේය.

යුවාන් මිලියන 10 ක් වටිනා මෙම ආපදා සහන උපකරණ තොගයට හකුලන ඇඳන්, ජංගම සනීපාරක්‍ෂක පහසුකම්, මෙට්ට, මුළුතැන්ගෙයි උපකරණ, ගෑස් ලිප්, කූඩාරම්, සෙවිලි තහඩු, ඇඳ ඇතිරිලි, බෝට්ටු, ජීවිතාරක්‍ෂක කබා, ජල පොම්ප සහ අනෙකුත් අත්‍යවශ්‍ය උපකරණ ද ඇතුළත් විය.

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා මහජන චීන සමූහාණ්ඩුව මීට පෙරද, මූල්‍ය ආධාර ලබාදී තිබුණ අතර, මෙම පරිත්‍යාගය, මානුෂීය සහයෝගය සහ හදිසි ආපදා කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා වන සූදානම සම්බන්ධයෙන් දෙරට අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය තවදුරටත් අවධාරණය කරන අතර, ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා චීනයේ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කළේය.

මෙම උත්සවයට ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, අධ්‍යක්‍ෂ ජනරාල් (සැළසුම්) ඩබ්ලිව්.එස්.එස්. මංගල සහ විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ ඩී. අමානුල්ලා සහ ආපදා කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නාමල් ලියනගේ යන අයවළුන් සහභාගී විය. තවද, චීන තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල නිලධාරීන් වන Tang Yandi සහ Shi Zhen යන අයවළුන් ද එක් වූහ.