ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අලි මිනිස් ගැටුම් අවම කිරීම
සඳහා ගත යුතු පියවර සම්බන්ධ සාකච්ඡාවක් පැවැත්වේ

අගෝස්තු 12, 2025

දිනෙන් දින උග්‍රවන අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගයන් සමාලෝචනය කිරීම සදහා විශේෂ සාකච්ඡාවක් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (අගෝ. 12) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විය.

මෙම සාකච්ඡාවේදි දිවයිනේ වන අලි තර්ජන එල්ල වී තිබෙන ප්‍රදේශවල වගාබිම් වලට සහ එම ප්‍රදේශවල ජන ජීවිතයට සහ ජීවනෝපායන්ට වන අලින්ගෙන් සිදුවන හානිය අවම කිරීම සඳහා ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලදි. එහිදී මේ වන විටත් ගම්බිම් ආක්‍රමණය කර සිටින අලි ඇතුන් ඔවුන් වෙනුවෙන් වෙන් කොට ඇති රක්‍ෂිත ප්‍රදේශ වෙත පළවා හැරීම, නිරීක්‍ෂණ පද්ධති සමඟ ඒකාබද්ධ කරන ලද තාක්‍ෂණයෙන් දියුණු අලි වැටවල් ඉදිකිරීම සහ අලි ඇතුන් වෙත කරුණාව දක්වන සමාජයක් ඇති කිරීමට ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද කරුණු සාකච්ඡා කරන ලද අතර, තිරසාර ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.

තවද, මෙම සාකච්ඡාවේදි දැනට ක්‍රියාත්මක කරන වනඅලි සංරක්‍ෂණ සහ ආරක්‍ෂණ ක්‍රියාවලිය සඳහා ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව දක්වන අමිල දායකත්වය සියලු දෙනාගේ පැසසුමට ලක්විය.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම, පරිසර සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ, මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ඊට සම්බන්ධ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම පරිසරවේදින් සහ විද්වතුන් පිරිසක් ද, මෙම සාකච්ඡාවට සහභාගී වූහ.