මහජන දිනයේදි විශ්‍රාමික රණවිරුවන්ගේ සහ රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ
සුභසාධනය කෙරෙහි අවධානය යොමු කෙරේ

අගෝස්තු 13, 2025

විශ්‍රාමික රණවිරුවන්ගේ සහ රටදැය වෙනුවෙන් දිවි පිදූ රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය සඳහා වන ආරක්‍ෂක අමාත්‍යාංශයේ කැපවීම යළිත් තහවුරු කරමින්, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (අගෝ: 13) දින අමාත්‍යාංශ පරිශ්‍රයේ දී මහජන දින වැඩසටහන පවත්වනු ලැබීය.

මෙම මුලපිරීම ඔස්සේ විශ්‍රාමික සහ ආබාධිත රණවිරුවන්ට මෙන්ම මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් හට ඔවුන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසාලමින් එම ගැටළුවලට අවශ්‍ය පිළියම් සෙවීම කෙරෙහි ප්‍රධාන අවධානය යොමු කරන ලදි.

වැඩසටහන අතරතුර, ආරක්‍ෂක ලේකම්වරයා ඔවුන් ඉදිරිපත් කල අභියාචනා හා ගැටළුවලට සාවධානව සවන් දුන් අතර, මතු වූ ගැටළු විසඳීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස අමාත්‍යාංශ නිලධාරීන් වෙත උපදෙස් දුන්නේය. තවද, විශ්‍රාමික රණවිරුවන්ගේ හා රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ යහපැවැත්මට අදාළ සුභසාධන වැඩසටහන් ඵලදායී අයුරින් ක්‍රියාත්මක කිරීම සහතික කිරීමේ වැදගත්කම ද, ඔහු අවධාරණය කළේය.

මෙම අවස්ථාව ඔස්සේ විශ්‍රාමික රණවිරුවන්ගේත්, ජාතියේ නිදහස වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කළ වීරෝධාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේත්, ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ අඛණ්ඩ කැපවීම යළිත් පිළිබිඹු කරේය.