ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයෙන් උපකාර අවැසි
රණවිරු පවුල් කිහිපයකට හා දෘශ්‍යාබාධිත ප්‍රජාවන්ට සහාය

අගෝස්තු 20, 2025

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (අගෝ. 20) අමාත්‍යාංශ පරිශ්‍රයේදී සේවා වනිතා ඒකකයේ පරිත්‍යාග මාලාවක් සිදුකරන ලදි.

එහිදී, උපකාර අවැසි රණවිරු පවුල් දෙකක දරුවන් සඳහා පරිත්‍යාග ලබාදීමක් සිදුකල අතර, ඒ යටතේ එක් රණවිරු පවුලක නිවුන් දරුවන් සඳහා සනීපාරක්‍ෂක ඩයපර් පැකට් 180 ක් සහ තවත් එක් රණවිරුවකුගේ ආබාධිත දරුවෙක් සඳහා කෘතීම පාදයක් පරිත්‍යාග කිරීම ද සිදුවිය.

එමෙන්ම, දෘශ්‍යාබාධිත කාන්තාවන් වෙත පිටුවහලක් වෙමින් ඔවුනගෙ පහසුව උදෙසා, ජා-ඇල - ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කාන්තාවන්ගේ සුභසාධන සංගමයට සුදු සැරයටි 300 ක් පරිත්‍යාග කිරීම ද සිදුවිය.

මෙම පරිත්‍යාග මගින් රට පුරා සිටින හමුදා පවුල් සාමාජිකයන් සඳහා මෙන්ම, සහයෝගය අවැසි ප්‍රජාවන් නඟා සිටුවීම සඳහා සේවා වනිතා ඒකකයේ දයානුකම්පිත කැපවීම ඉස්මතු කරයි.