දිවි පරදුවට තබා මව්බිම ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගන්නවා – ජනපති මැයි දින සැමරුමේ දී අවධාරණය කරයි

මැයි 01, 2019

අප්‍රේල් 21 වනදා ඛේදවාචකය හමුවේ සියලු ලක්වැසි ජන හදවත් තුළ ඇති වූ වේදනාව ත්‍රස්තවාදය විනාශ කිරීමේ ශක්තිය බවට පත්කරගත යුතු බව ජනාධිපතිතුමා පවසයි.

වැඩක් කෙරෙන බවට පෙනෙන්න නැතැයි වැනි ප්‍රකාශ සිදුකරමින් එකිනෙකාට ඇඟිල්ල දිගුකර ගැනීම නොව සිදුවිය යුත්තේ ජාතියක් ලෙස එදින සියලුදෙනා මුහුණදුන් ඛේදවාචකයේ අනුවේදනීය මතක සටහන් සමඟ ත්‍රස්තවාදය විනාශ කර රටේ සාමය ස්ථාපිත කිරීමට අධිෂ්ඨානයෙන්, ආත්ම ශක්තියෙන් සහ සාමුහිකව සියලුදෙනා එකම කොඩියක් යටතේ අත්වැල් බැඳගැනීම බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (01) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැයි දින සැමරුම් උත්සවය අමතමිනි.

“ආරක්‍ෂිත මවු බිමක් – ජවය පිරි වැඩ බිමක්” තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කර තිබු මෙම සැමරුම් උත්සවයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨ නායකයන් ඇතුළු පාක්‍ෂිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

එමෙන්ම නව සම සමාජ පක්‍ෂයේ නායක වාසුදේව නානායක්කාර, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ලංකා සම සමාජ පක්‍ෂ නායක මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන් ඇතුළු වාමාංශික පක්‍ෂ නායකයන් සහ නියෝජිතයන් ද ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර, මහතා ඇතුළු වෘත්තීය සමිති නායකයන් සහ නියෝජිතයන් මීට එක්ව සිටියහ.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී අවධාරණය කළේ රටත්, ජනතාවත් වෙනුවෙන් දිවි පරදුවට තබා ත්‍රස්තවාදය විනාශ කිරීමේ කාර්යයට උර දෙන බවයි.

රටේ සෑම පුරවැසියෙකුගේම ආරක්‍ෂාව මේ වන විට තහවුරු කර තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඉතා ඉහළ වැඩපිළිවෙළක් විදේශීය විශේෂඥ දැනුම ද සහිතව අපගේ ආරක්‍ෂක හමුදාවන් මේ වන විට දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබෙන බව සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ මෙම ඛේදවාචකය වළක්වාගැනීමේ වගකීම් පැහැර හැරී සියලු දෙනා වෙනුවෙන් ද ඉදිරියේ දී නිසි පියවර ගන්නා බවයි. මෙම සිදුවීම පිළිබඳ සති දෙකක වාර්තාවක් ලබාදීමට තමා පත් කළ විශේෂ පර්යේෂණ මණ්ඩලයේ අතුරු වාර්තාව ඊයේ තමාට ලැබුණු බවත්, එහි සඳහන් කරුණු පිළිබඳ හෙට නීතිපතිවරයා සමග සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

එමෙන්ම මෙරට වැඩකරන ජනතාව, වෘත්තීය සමිති සාමාජිකයන් ඇතුළු සියලුදෙනා රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කරමින් සාමකාමී රටක් ගොඩනැගීමේ කාර්යය සමඟ කිසිඳු බේදයකින් තොරව පෙළ ගැසෙනු ඇති බවට ද ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පාක්‍ෂිකයන් මීට එක්ව සිටියහ.

අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය ඒකකය