කලා වැවේ ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීමේ වැඩසටහන
සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දායකත්වය
සැප්තැම්බර් 08, 2025
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් විසින් Wild Tuskers සංවිධානය සමඟ එක්ව 212 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි කලා වැවේ වැව් බැම්මේ පවතින ආක්‍රමණශීලී ශාක විශේෂ ඉවත් කිරීම සඳහා දැවැන්ත පරිසර සංරක්‍ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම ශාක විශේෂය වනයේ ජීවත්වන අලි ඇතුන්ගේ ජීවන රටාවට පවා බාධා පමුණුවන ආක්‍රමණශීලී ශාක විශේෂයකි.
ඒ අනුව, 2025 සැප්තැම්බර් මස 05 දින අනුරාධපුර කලාගම ප්‍රදේශයේ කලා වැවෙහි අක්කර 10 ක් පමණ ප්‍රදේශයක් ආවරණය වන පරිදි ව්‍යාප්ත වී තිබූ අගඩාන් සහ ජපන් ජබරා වැනි ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීම සිදුකෙරිණි. එසේම, 2025 සැප්තැම්බර් මස 06 සහ 07 යන දිනයන්හිදී බලලු වැවේ වැව් බැම්මේ පවතින ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීමට ද කටයුතු කිරීමට නියමිතය.
මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙන්ම නාවික හමුදාව, ගුවන් හමුදාව, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන, සිවිල් සංවිධාන සහ සිවිල් වැසියන් සිය සහයෝගය ලබාදෙනු ලබයි.
අනුග්‍රහය - www.army.lk