සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සිය 19 වන සංවත්සරය සමරයි

සැප්තැම්බර් 11, 2025

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සිය 19 වන සංවත්සරය ඊයේ (සැප් 10) මිහින්තලේ සිවිල් ආරක්‍ෂක බලකා රණවිරු ස්මාරකය අබියසදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සමරනු ලැබීය. එම ස්ථානයට පැමිණි  ආරක්‍ෂක ලේකම්වරයාව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු (විශ්‍රාමික) විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව 2006 සැප්තැම්බර් 13 වන දින ගැසට් අංක 1462/20 යටතේ ප්‍රතිස්ථාපනය කරන ලද අතර, එය අතීතයේ ග්‍රාමාරක්‍ෂක සේවය ලෙස හදුන්වන ලදි. එතැන් සිට විශේෂයෙන් එල්ටීටීඊ ත්‍රස්තවාදය පැවැති යුද සමයේදී ජාතික ආරක්‍ෂාව සහ ප්‍රජා ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සඳහා එම බලකාය ඉමහත් කාර්යභාරයක් ඉටු කරන ලදි.

මෙම උත්සවයේදී මියගිය සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට සහ මානුෂීය මෙහෙයුමේදී අපරමිත කැපකිරීම් කර ආබාධිත තත්ත්වයට පත් වූ ප්‍රවීණයන්ට උපහාර දැක්වීය. රැස්ව සිටි පිරිස අමතමින් ආරක්‍ෂක ලේකම්වරයා, යුධ සමයේදී සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව දැක්වු අතිමහත් දායකත්වය සහ පශ්චාත් යුධ සමයේ ජාතිය ගොඩනැගීම සඳහා දක්වන ලද අඛණ්ඩ සේවයද, අගය කළේය.

ඉන් අනතුරුව, ආරක්‍ෂක ලේකම්වරයා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ පෞද්ගලිකව සම්බන්ධ වී ඔවුන් මුහුණ දෙන ගැටළුවලට සවන් දෙමින් එම ගැටළු විසදීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අදාළ බලධාරීන් දැනුවත් කළ අතර, ඔවුන් දිරිගැන්වීමට ක්‍රියාකරන ලදි. තවදුරටත් ඔවුන්ගේ සුභසාධනය සඳහා අමාත්‍යාංශයේ කැපවීමද, අවධාරණය කළේය.

මෙම අවස්ථාවට මිහින්තලේ විහාරාධිපති පූජ්‍ය වලවාහැන්ගුනවැවේ ධර්මරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය, සර්ව ආගමික පූජකවරුන්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර (විශ්‍රාමික) සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමජිකයින් විශාල පිරිසක් සහභාගී වූහ.