නායයෑම් අවදානම අවම කිරීම පිළිබඳ 6 වන ව්‍යාපෘති මෙහෙයුම් කමිටු රැස්වීම ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්වේ

සැප්තැම්බර් 12, 2025

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් ක්‍රියාත්මක කරන ලද නායයෑම් අවදානම් අවම කිරීමේ  ව්‍යාපෘතිය මගින් එහි 6 වන ව්‍යාපෘති මෙහෙයුම් කමිටු රැස්වීම අද (සැප් 12) ආරක්‍ෂක අමාත්‍යාංශයේදි පැවැත්විණි.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ව්‍යාපෘති මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා ලෙස සැසිවාරයේ මුලසුන දැරීය. සිය ආරම්භක දේශනයේදී රට පුරා අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සහ යටිතල පහසුකම් ආරක්‍ෂා කිරීමේදී නායයෑම් අවම කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. මෙම වැදගත් ජාතික කර්තව්‍යයට මුලපිරීමේ හා ස්ථාවර ප්‍රගතිය සහතික කිරීමට අඛණ්ඩ සහයෝගීතාවය සහ කාලෝචිත විසදුම් සඳහා සියලුම පාර්ශ්වකරුවන්ගේ කැපවීම ද, ඔහු අගය කළේය.

ව්‍යාපෘතිය පිළිබඳ දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින්, NBRO හි අධ්‍යක්‍ෂ  ජෙනරාල් ඉංජිනේරු (ආචාර්ය) ආසිරි කරුණාවර්ධන මහතා, පාර්ශ්ව කරුවන්ගෙන්  නියෝජිතයින්ගෙන් ව්‍යාපෘති මෙහෙයුම් කමිටුව වෙත ලැබෙන සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළේය. ව්‍යාපෘති සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය සඳහා නිල නිර්දේශ සකස් කිරීමේදී මෙම දායකත්වයන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව ඔහු සඳහන් කළේය.

නායයෑම් අවදානම අවම කිරීමේ පියවර ව්‍යාපෘතියේ  අධ්‍යක්‍ෂ ඉංජිනේරු විරාජ් ඩයස් මහතා ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය පිළිබඳ ඉදිරිපත් කළ අතර, පසුව සාකච්ඡාව එකිනෙකා අතර අදහස් හුවමාරුව සඳහා විවෘත කරන ලදී. සමස්ත ව්‍යාපෘති ප්‍රගතිය සහ පුරෝකථනයන්, ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියාත්මක කිරීම, මූල්‍ය ප්‍රතිපාදන සහ භාවිතය, ප්‍රමුඛතා අවදානමට ලක්විය හැකි ප්‍රදේශ හඳුනා ගැනීම, ව්‍යාපෘති ප්‍රතිඵල රාමුව මෙන්ම, පාර්ශ්වකරුවන්ගේ උපදේශන වැනි ප්‍රධාන අංශ සාකච්ඡාවට ඇතුළත් විය. ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ පාරිසරික, සමාජීය, සෞඛ්‍ය සහ ආරක්‍ෂක අංශ පිළිබඳව ප්‍රජා දැනුවත්භාවය කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කරන ලදි.

මෙම රැස්වීම සඳහා අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක මහතා සහ ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් (සැලසුම්) ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල මහතා ඇතුළු රජයේ ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ නියෝජිතයින් එක්රැස් විය. ඔවුන්ගේ තීක්ෂ්ණ බුද්ධිය රට පුරා නායයෑම් අවම කිරීමේ පියවරවල කාර්යක්‍ෂමතාව සහ තිරසාරභාවය වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ඵලදායී සංවාදයකට දායක විය.