“Pacific Angel 2025” අභ්‍යාසය සාර්ථකව අවසන් වේ

සැප්තැම්බර් 13, 2025

පසුගිය සඳුදා (සැප් 08) ආරම්භ වූ “Pacific Angel 2025” අභ්‍යාසය ඊයේ (සැප් 12) සාර්ථකව අවසන් විය. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ආරක්‍ෂක අමාත්‍යාංශය සමඟ එක්ව සංවිධානය කරන ලද "Pacific Angel 2025” අභ්‍යාසය කටුනායකදී ඊයේ දින පැවති උත්සවයකදී සිය සමාප්තිය සනිටුහන් කළේය.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ ඇමරිකානු තානාපතිනි ගරු Julie Chung මැතිනිය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සමඟ මෙම පුහුණු අභ්‍යාසයේ සමාප්ති උත්සවය වෙත සහභාගී වන ලදි.

Pacific Angel 2025, ආපදා ප්‍රතිචාර දැක්වීම සහ මානුෂීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දු - පැසිෆික් හවුල්කරුවන් එක් කළ අතර, මෙම අභ්‍යාසය එක්සත් ජනපද පැසිෆික් හමුදා, රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාව, ජපාන ගුවන් ස්වයං ආරක්‍ෂක බලකාය, මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකාය සහ බංග්ලාදේශ ගුවන් හමුදාව මෙම අභ්‍යාසය සඳහා එක් විය. එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ද, මෙම අභ්‍යාසය සඳහා එක් විය.

මෙම වැඩසටහනට ගුවන් යානා නඩත්තු කිරීම, සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම්, වනාන්තර දිවි ගලවා ගැනීම්, ගුවන් මගින් රෝගීන් රැගෙන යාම, අනතුරු ප්‍රතිචාර ඇතුළු ගුවන් මෙහෙයුම් ආවරණය වන පරිදි විෂය කරුණු පිළිබඳ විශේෂඥ දැනුම හුවමාරු විය. කටුනායක, චීන වරාය සහ අම්පාර ගුවන් හමුදා කඳවුරුවල පුහුණුව මගින් කලාපීය සූදානම සහ සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම සඳහා සහභාගිවන්නන්ට ප්‍රායෝගික කුසලතා ලබා දෙන ලදී.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), සහභාගී වූ සියලුම ජාතීන්ට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය ගැඹුරු කෘතඥතාව පළ කළ අතර, එය මානුෂීය ආධාර සහ ආපදා ප්‍රතිචාර හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා කලාපීය ගුවන් හමුදාවන්ගේ වැදගත් දායකත්වය ඉස්මතු කළේය. මෙම අභ්‍යාසය ඉන්දු - පැසිෆික් හවුල්කරුවන් අතර අන්තර් ක්‍රියාකාරිත්වය සහ දැනුම බෙදා ගැනීම ශක්තිමත් කරන අතරම එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සහ සහයෝගීතා සම්බන්ධතාවය ද, පිළිබිඹු කරයි. මෙම අභ්‍යාසය ඔරොත්තුදීමේ හැකියාව ගොඩනැගීමට, අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීමට සහ කලාපයේ සාමය සහ ස්ථාවරත්වයට දායකවීමට වැදගත් වැඩසටහනක් විය.

Pacific Angel 2025 මෙම වසරේ ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන විශාලතම බහුපාර්ශ්වික අභ්‍යාසය වන අතර, අපගේ ඉන්දු - පැසිෆික් හවුල්කරුවන් සමඟ උරෙන් උර ගැටී සිටීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. ආපදා ප්‍රතිචාරයේ සිට මානුෂීය අර්බුද දක්වා සැබෑ ලෝක අභියෝග සඳහා අපි එක්ව සූදානම් වන ආකාරය සහ කලාපය පුරා සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ආරක්‍ෂා කිරීමට අපගේ සාමූහික හැකියාව සහයෝගීතාවය ශක්තිමත් කරන ආකාරය මෙම අභ්‍යාසය මගින් පෙන්නුම් කරන බව ඇමරිකානු තානාපතිනිය මෙම අවස්තාව ආමන්ත්‍රණය කරමින් පවසන ලදි.

මෙහෙයුම් වලට අමතරව, පැසිෆික් ගුවන් හමුදා වාද්‍ය වෘන්දය “Final Approach” ශ්‍රී ලංකා ගුවන් හමුදා වාද්‍ය වෘන්දය සමඟ සංගීතය හරහා සුහදතාවය ගොඩනඟා ගනිමින් ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදි. මේ අතර, එක්සත් ජනපද ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ කටයුතු කරමින්, අකරගම ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණ කළ අතර, එමඟින් දේශීය ප්‍රජාවන්ට දිගු කාලීන ප්‍රතිලාභ ලැබෙනු ඇත.

අර්බුද සඳහා සූදානම් වීම, ආපදා ප්‍රතිචාර ශක්තිමත් කිරීම සහ කල් පවතින කලාපීය සහයෝගීතාව ගොඩනැගීම සඳහා වසරේ විශාලතම බහුපාර්ශ්වික අභ්‍යාසයේ සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාව ඉන්දු - පැසිෆික් හවුල්කරුවන් සමඟ උරෙනුර ගැටී කටයුතු කරන ආකාරය Pacific Angel 2025 මගින් පෙන්නුම් කරන ලදී.