හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ වීරත්වයේ උරුමකරුවන්ට නාවික හමුදාධිපතිගෙන් උපහාර
සැප්තැම්බර් 15, 2025නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයට අනුයුක්තව ක්‍රියාන්විත සේවයේ යෙදී සිටියදී රණක්‍ෂිතයට පත් වීරෝධාර නාවික හමුදා පුද්ගලයින් වෙත උපහාර පිදීමේ උළෙලක්, 2025 සැප්තැම්බර් මස 13 වැනි දින ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහ මුලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දසක තුනකට (03) ආසන්න කාලයක් මව්බිම වෙලා පැවති ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දමා, ත්‍රස්තවාදය මානුෂිය මෙහෙයුමකින් විජයග්‍රහනය කර, දේශයේ උත්තරීතර නිදහස තහවුරු කිරීම සඳහා, ශ්‍රී ලංකා නාවික හමුදාව තීරණාත්මක දායකත්වයක් දක්වන ලද අතර, දේශයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සහ රණක්ෂිතයට පත්වෙමින් තම යුතුකම ඉටු කල, වීරෝධාර නාවික හමුදා පුද්ගලයින් සිදුකල අනභිබවනීය දායකත්වය සදානුස්මරණිය වේ.
ඒ අනුව, උතුරු නැගෙනහිර ඇතුළු සාගර කළාපයේ මුහුදු සංචරන කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරුණු සුවිශේෂි වගකීම ඉටුකිරීම සඳහා හතරවන වේගප්‍රහාරක යාත්‍රා සමූහය විසින් සිදුකල වීර වික්‍රමාන්විත ක්‍රියාන්විතයන් හමුවේ, ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල සහ රණක්‍ෂිතයට පත් වීරෝධාර නාවික හමුදා පුද්ගලයින් වෙත උපහාර පිදීමේ අවස්ථාව සඳහා, ක්‍රීයාන්විතයේදී රණක්‍ෂිතයට පත්ව විශ්‍රාම ලබා සිටින නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගී වූහ.
එහිදී, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහ මුලස්ථානයේ ස්ථාපිත රණවිරු ස්මාරකය අභියස මල් කළඹක් තබා, නාවික හමුදාධිපති විසින් ක්‍රියාන්විතයේදී ජීවිත පරිත්‍යාග කල වීරෝධාර රණවිරුවන් වෙත උපහාර පුදකිරීමෙන් අනතුරුව, එම අවස්ථාව සඳහා සහභාගි වු ක්‍රියාන්විතයේදී රණක්‍ෂිතයට පත් නාවික හමුදා පුද්ගලයින් විසින් මානුෂිය මෙහෙයුමේදි ජිවිත පරිත්‍යාග කල හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ වීරෝධාර රණවිරුවන් වෙත උපහාර පුදදීම සිදුකෙරිණි.
මෙම උපහාර පුදකිරිමේ අවස්ථාවට සමගාමීව, රණක්‍ෂිතයට පත් නාවික හමුදා පුද්ගලයින්ගේ සංග්‍රාමික අත්දැකීම් තරුණ නිලධාරීන් සහ නාවිකයින් සමඟ හුවමාරු කර ගැනීමේ සකච්ඡාමය වැඩසටහනක්, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී, වේග ප්‍රහාරක යත්‍රා සමූහයේ විරෝධාර සාමාජිකයින් විසින් සාර්ථකව ක්‍රියාන්විත සිදුකර නාවික හමුදාව වෙත ජයග්‍රහණ ගෙනදීම සඳහා; නිරන්තර පුහුණු අභ්‍යාස සිදු කිරීමෙන් ලද උසස් කායික හා මානසික යෝග්‍යතාවය, කණ්ඩායම් හැඟීමෙන් යුතුව කටයුතු කිරීම, අසීරු අවස්ථාවන්හීදි ක්‍ෂණිකව නිවැරදි තීරණ ගැනීම, නායකත්වය, දේශප්‍රේමීත්වය, උසස් විනය සහ සුවීශේෂි කැපවීම ඇතුළු වටිනා සංග්‍රාමික අත්දැකීම් සම්භාරයක් හුවමාරු කර ගැනීමට වත්මන් හතරවන වේගප්‍රහාරක යත්‍රා සමූහයේ නිලධාරීන් සහ නාවිකයන් ඇතුළු තරුණ නාවික හමුදා පුද්ගලයන්ට මහඟු අවස්ථාවක් උදාවිය.
තවද, මෙම උපහාර පුදකිරීමේ අවස්ථාව සඳහා, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා, නාවික හමුදා දියත් විධානයට අණදෙන ධජ නිලධාරී රියර් අද්මිරාල් රොහාන් ජෝසප්, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ හිටපු අණදෙන නිලධාරීන්, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ වත්මන් අණදෙන නිලධාරී කපිතාන් චන්දන ප්‍රියන්ත, ඇතුළු නැගෙනහිර නාවික විධානයේ සහ නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමුහයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.
අනුග්‍රහය - www.navy.lk