12 වන “ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය” සැප්තැම්බර් 24 සහ 25 කොළඹ දී පැවැත් වේ

සැප්තැම්බර් 16, 2025

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 12 වන වරටත් සංවිධානය කරනු ලබන “ගාලු කථිකාව ජාත්‍යන්තර සම්මන්ත්‍රණය" 2025 සැප්තැම්බර් මස 24 සහ 25 යන දෙදින තුළ වැලිසර Wave n' Lake නාවික හමුදා උත්සව ශාලාවේදී පැවත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

මෙවර සම්මන්ත්‍රණය “Maritime Outlook of the Indian Ocean under Changing Dynamics” යන තේමාව යටතේ  පැවැත්වෙන අතර, සමුද්‍රීය පරිසරයේ ආරක්‍ෂාව හා සංරක්‍ෂණය, නීතිමය රාමුව මත පදනම් වූ සමුද්‍රීය පාලනය, සමුද්‍රීය ආර්ථිකය,  සමුද්‍රීය තිරසාරභාවය සහ සමුද්‍රීය දූෂණයෙන් තොර පිරිසිදු ඉන්දීය සාගර කලාපයක් අනාගත පරම්පරාව වෙත දායාද කර දීම යන ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් පැවැත්වීමට නියමිතය.

මෙවර සම්මන්ත්‍රණයට රටවල් 36 ක නාවික ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ සමුද්‍රීය වෘත්තිකයන් සහ ජාත්‍යන්තර සංවිධාන 14 කට වැඩි ගණනක නියෝජිතයින් සහභාගි වනු ඇතැයි අපේක්‍ෂා කරන අතර, මෙවරත් එමඟින් සමුද්‍රීය ස්ථාවරත්වය, නැගී එන ආරක්‍ෂක අභියෝග සහ ඉන්දියානු සාගරයේ කලාපීය සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉහළ මට්ටමේ වේදිකාවක් සපයනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගිය සඳුදා (සැප් 15) නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.