ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කරමින් ප්‍රංශ තානාපති ප්‍රමුඛ දූත පිරිස ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

සැප්තැම්බර් 23, 2025

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ගරු Remi Lambert මැතිතුමා ප්‍රමුඛ දූත පිරිස ඊයේ (සැප් 22) ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදි හමු වු අතර, මෙම හමුව දෙරටේ ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ප්‍රගතිශීලී පියවරක් සනිටුවහන් කලහ.

මෙම සාකච්ඡාවේදි දෙපාර්ශ්වය විසින් ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි සිය අවධානය යොමු කළහ. එහිදී ප්‍රධාන මුලපිරීම් කිහිපයක් හරහා ආරක්‍ෂක සහයෝගීතා රාමුව යටතේ සහයෝගය ලබා දීමට සිය රජය සූදානම් බව ප්‍රංශ තානාපතිවරයා ප්‍රකාශ කරන ලදි.

එහිදී සහයෝගය ලබා දෙන ක්ෂේත්‍ර යටතට ආරක්‍ෂක ප්‍රතිසංස්කරණ සඳහා විශේෂඥ සහාය ලබා දීම, ශ්‍රී ලාංකික සාම සාධක භටයින් සඳහා විශේෂිත පුහුණුවක් ලබා දීම, ප්‍රංශ භාෂා පාඨමාලා ලබා දීම, ආපදා කළමනාකරණය සහ අවම කිරීමේ පහසුකම් සැපයීම, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සංවර්ධනයට සහාය වීම සහ ඒකාබද්ධ වැඩසටහන් හරහා අර්බුද කළමනාකරණ පුහුණු පැවැත්වීම ද, ඇතුළත් වේ.

මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර ද්විපාර්ශ්වික ගිවිසුමක් යටතේ පිහිටුවන ලද ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ සමුද්‍රීය අධ්‍යයන සඳහා වූ කලාපීය මධ්‍යස්ථානය (RCMS) කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලද අතර, එය කලාපයේ සිවිල් සහ හමුදා වෘත්තිකයන් සඳහාම සකස් කරන ලද විශේෂිත පුහුණු වැඩසටහන් පිරිනමන  ආයතනයක් ලෙස සමුද්‍රීය අධ්‍යයන සඳහා වූ කලාපීය මධ්‍යස්ථානය දැනටමත් ඉස්මතු වී තිබේ.

මෙම හමුවේදී සාමය, සමුද්‍රීය ආරක්‍ෂාව සහ වෘත්තීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ප්‍රංශය දක්වන පොදු කැපවීම අවධාරණය කරන ලද අතර, එමගින් දෙරට අතර දිගුකාලීන හවුල්කාරීත්වය ද, ශක්තිමත් විය.