UNHCR ආයතනයේ නියෝජිත පිරිසක් ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි
සැප්තැම්බර් 25, 2025එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක් ජාත්‍යන්තර සාම සාධක මෙහෙයුම්වල සහයෝගීතාව වැඩි දියුණු කිරීම සහ මානව හිමිකම් මුලපිරීම් ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් ඊයේ (සැප්. 24) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම්වරයා හමු වූහ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche මහතා සහ ආසියා, පැසිෆික් කලාපීය UNHCR කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (ආරක්‍ෂණ සහ විසඳුම්), Karen Whiting මහත්මියගේ නායකත්වයෙන් යුත් මෙම දූත පිරිස, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම හමුවේදි එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සම්බන්ධ කර ගැනීම, අදාළ මෙහෙයුම් සඳහා යෙදවීමේ පරීක්‍ෂණ ක්‍රියාවලිය කඩිනම් කිරීම, විශේෂිත පුහුණු වැඩසටහන් සහ එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුකූලව අවශ්‍ය උපකරණ සැපයීම සහතික කිරීම යන කරුණු ඇතුළුව ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන ලදි.
එහිදී අදහස් දැක්වූ Franche මහතා මානව හිමිකම් සුරැකීම සඳහා සිදුකෙරෙන අඛණ්ඩ උත්සාහයන් මෙන්ම, ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වන ශ්‍රී ලංකා රජයේ කැපවීම අගය කළේය. එමෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක හමුදා ධාරිතාවන් ශක්තිමත් කිරීම සහ එම හැකියාවන් ගෝලීය ආරක්‍ෂක රාමු සමඟ පෙළගැස්වීම සඳහා ශ්‍රී ලංකා රජය වෙත අඛණ්ඩව සහයෝගය දක්වන බවට ද දූත පිරිස එහිදී යළිත් තහවුරු කළහ.
ආරක්‍ෂක ලේකම්වරයා එහිදී අදහස් දක්වමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දක්වනු ලබන සහයෝගය පිළිගත් අතර, සන්නද්ධ හමුදාවන්ගේ වෘත්තීයභාවය, වගවීම සහ ගෝලීය වශයෙන් ධනාත්මක භාවිතයන් කෙරෙහි අවධානය යොමු කරමින් ජාත්‍යන්තර සාම සාධක කටයුතු සඳහා සිය දායකත්වය පුළුල් කිරීමට ශ්‍රී ලංකා රජය ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සූදානම් බව ප්‍රකාශ කළේය.
මෙම හමුව ඔස්සේ ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර පවතින ශක්තිමත් හවුල්කාරිත්වය යළිත් තහවුරු කරයි.