ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පාලන ක්‍රමවේද ඔස්සේ නායයෑම් අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතියේ විගණන සහ කළමනාකරණ කමිටුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී රැස්වේ

සැප්තැම්බර් 27, 2025

පාලන ක්‍රමවේද ඔස්සේ නායයෑම් අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතියේ විගණන සහ කළමනාකරණ කමිටු (AMC) රැස්වීම ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (සැප්තැම්බර් 26) දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර, ශ්‍රී ලංකා රජය විසින් ඊට අවශ්‍ය අරමුදල් සපයනු ලබයි. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) වෙතින් ලබාගත් විශේෂ ණය ක්‍රමයක් යටතේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

එහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක ලේකම්වරයා, ව්‍යාපෘතියට අදාළ මූලික අරමුණු විදහා දක්වමින් ස්වභාවික ආපදා හේතුවෙන් අවදානමට ලක්විය හැකි ජන ජිවිත මෙන්ම අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ආරක්‍ෂා කර ගැනීමේදී, විශේෂයෙන්ම නායයෑම් අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල නායයෑම් අනතුරු අවම කිරීම සඳහා අවශ්‍ය පියවර අනුගමනය කිරීමෙහි වැදගත්කම අවධාරණය කළේය. තවද, ඔහු මේ සම්බන්ධයෙන් තීරණාත්මක ලෙස මැදිහත්වීමෙන් කාලානුරූපීව අවශ්‍ය පියවර ලබාගැනීම සහතික කිරීම සඳහා කඩිනම්ව ක්‍රියා කරන ලෙස අදාළ සියලුම පාර්ශ්වකරුවන් වෙත උපදෙස් ලබා දුන්නේය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු (ආචාර්ය) ආසිරි කරුණාවර්ධන මහතා විසින් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති වල ප්‍රගතිය පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් ලබා දෙමින්, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇති වී තිබෙන අභියෝග පිළිබඳ කරුණු ඉදිරිපත් කළේය.

එමෙන්ම ව්‍යාපෘතියට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධව විවිධ ඉදිරිපත් කිරීම් සහ දැනුවත්කිරීම් ද සිදුකරන ලදි. ඒ අනුව ව්‍යාපෘති වල ප්‍රගතිය සහ ඉදිරි පුරෝකථනයන්, අදාළ සැලසුම් ක්‍රියාත්මක කිරීම, මූල්‍ය ප්‍රතිපාදන සහ මුල්‍ය භාවිතය, අවදානම් සහිත ප්‍රමුඛතා ස්ථාන හඳුනා ගැනීම, ව්‍යාපෘතියේ ප්‍රතිඵල රාමුව, ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන් ආදී විවිධ ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කේන්ද්‍රගත විය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.