ආරක්‍ෂක ලේකම්වරයා ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 18 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවට සහභාගී වේ

සැප්තැම්බර් 30, 2025

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 18 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව අද (සැප්තැම්බර් 30) දින එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවති අතර, එහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහභාගී විය.

“Bridging Frontiers: Interdisciplinary Research for Sustainable Progress” යන තේමාව ඔස්සේ මෙවර සමුළුව පැවැත්වෙන අතර, කීර්තිමත් විද්වතුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විද්‍යාර්ථයින් සහ ජාත්‍යන්තර නියෝජිතයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සමකාලීන ගෝලීය අධ්‍යාපන හා ආරක්‍ෂක අභියෝගයන් සඳහා නව්‍ය විසඳුම් සෙවීම සඳහා පුළුල් සාකච්ඡා පවත්වනු ලැබීය.

එහිදී, සභාව ඇමතු ආරක්‍ෂක ලේකම්වරයා, ජාතික සංවර්ධනය හා ආරක්‍ෂාව සම්බන්ධයෙන් ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය තුලින් සිදු කෙරෙන වැදගත් කාර්යභාරය පිළිබඳව අවධාරණය කළේය. එමෙන්ම, කේන්ද්‍රීය අධ්‍යයන ආයතනයක් වශයෙන් මෙන්ම, ජාතික වශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර බොහොමයක විද්වතුන් හා ඔවුන්ගේ අදහස්/යෝජනා ඒකරාශී කරන මධ්‍යස්ථානයක් වශයෙන් මෙම විශ්වවිද්‍යාලය මගින් ඉටුකරන කාර්යභාරය සිය ප්‍රශංසාව පළ කළේය.  නූතන ලෝකයේ, ආරක්‍ෂාව, තාක්‍ෂණය, පරිසරය, සෞඛ්‍යය සහ සමාජ සමානාත්මතාවය තවදුරටත් හුදකලා සංවාද නොවන බවත්, මෙම සාධක සියල්ල දැනුම හුවමාරුව සහ ඒකාබද්ධ ක්‍රියාමාර්ග අවශ්‍ය කෙරෙන අන්තර් සම්බන්ධිත අවශ්‍යතාවයන් බවත්, ඔහු අවධාරණය කළේය.

සන්නද්ධ හමුදා සතු විශිෂ්ඨ ආචාර ධර්ම, අධ්‍යයන ක්‍රියාවලිය සමඟ ඒකාබද්ධ කරමින් ඵලදායි විශ්වවිද්‍යාල අධ්‍යාපන පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා සතු වූ දුරදර්ශිභාවය ආරක්‍ෂක ලේකම්වරයා විසින් පැසසුමට ලක් කළේය. මෙම විශ්වවිද්‍යාලය හරහා විණයගරුක මෙන්ම, නායකත්ව ගුණාංගයන්ගෙන් යුතු තරුණ හමුදා නිලධාරීන්ගෙන් සමන්විත සන්නද්ධ හමුදාවක් බිහි කෙරෙන අතරම, වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, නීතිය සහ පරිපාලනය වැනි විවිධ ක්ෂේත්‍රයන්හි උසස් පර්යේෂණ සඳහා අවස්ථාව සලසාලන කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියාත්මක වීම මඟින් ජාතියට විශාල ප්‍රතිලාභ ලැබෙන බවත්, ඔහු සඳහන් කළේය.

මෙරට අධ්‍යාපන පද්ධතියේ අධ්‍යයන විශිෂ්ටත්වය, ජාතික මෙහෙවර වෙනුවෙන් දක්වනු ලබන සක්‍රිය දායකත්වය සහ ගෝලීය වගකීම යන ක්ෂේත්‍ර වෙනුවෙන් ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නොසැලෙන කැපවීම අගයකරමින් ආරක්‍ෂක ලේකම්වරයා සිය දේශනය නිමාකල අතර, සමුළුව සාර්ථකත්වය වෙනුවෙන් සිය සුභාශිංසන එක් කලේය.

මහාචාර්ය Bahadur Singh මෙවර සමුළුවේ ප්‍රධාන ආරාධිත දේශකවරයා ලෙස සහභාගී විය.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික), ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය කෝලිත ජිනදාස, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලයේ නිලධාරීන්, හිටපු කුලපතිවරුන් සහ උපකුලපතිවරුන්, විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් සහ විද්‍යාර්ථයින් රැසක් මෙම සමුළුව සඳහා එක්ව සිටියහ.