ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අමතයි
ඔක්තෝම්බර් 08, 2025ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ (ඔක්තෝබර් 07) දින කොළඹ ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.
එහිදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ විසින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඔහු වෙත නාවික හමුදා උත්තමාචාරයක් ද පිරිනමන ලදී. ප්‍රධාන නාවික මෙහෙයුම් මැදිරිය, සමුද්‍රීය ගලවා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (Maritime Rescue Coordination Centre - MRCC) සහ තොරතුරු කේන්ද්‍රය (Information Fusion Centre - IFC) හි මෙහෙයුම් ක්‍රියාවලිය නිරීක්‍ෂණය කිරීමට ද ඔහු අවස්ථාව ලබා ගත්තේය.
එහිදී නාවික හමුදාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ මේජර් ජෙනරල් ජයසේකර, නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම සහ ජාතික ආරක්‍ෂාව සුරැකීම වෙනුවෙන් මෙරට මුහුදු සීමාව තුළ මෙන්ම ඉන් පිටත ගැඹුරු මුහුදේදීත් දියත් කරනු ලැබූ අතිශය තීරණාත්මක වූත් වීරෝධාර වූත් අති සාර්ථක මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ගරු ජනාධිපතිතුමා වෙනුවෙන් සිය ප්‍රශංසාව පළ කළේය.
එමෙන්ම නාවික හමුදාව විසින් ක්‍රියාත්මක නෞකා ආරක්‍ෂක කණ්ඩායම් (Onboard Security Team - OBST) හි ඇති වැදගත්කම අවධාරණය කරමින්, ඒ ඔස්සේ රජයේ පුළුල් ජාතික අවශ්‍යතා ඉදිරියට ගෙන යාමේදී ලබා දෙන උපායමාර්ගික දායකත්වය පිළිබඳව ද සඳහන් කළේය.
තවද, රජයේ ප්‍රධාන ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා ඉස්මතු කරමින් දූෂණය තුරන් කිරීම පිළිබඳව කරුණු විස්තර කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා රජයේ ස්ථිර කැපවීම ද යළිත් තහවුරු කළේය.
නාවික හමුදාවේ මෙහෙයුම් හැකියාවන් සහ සමස්ත වෘත්තීයභාවය ශක්තිමත් කිරීම සඳහා සාගර කලාප පිළිබඳ දැනුවත්භාවය (Maritime Domain Awareness - MDA) වැඩි දියුණු කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය. අවසාන වශයෙන්, ඔහු අණ හා පාලනය යන ඉතා වැදගත් මූලධර්මය පිළිබඳ අවධාරණය කළ අතර, රාජකාරී ඉටුකිරීමේදී අවංකභාවය, වගවීම සහ විනය පිළිබඳ ඉහළම ප්‍රමිතීන් සියලුම නාවික හමුදා සාමාජිකයන් විසින් ආරක්‍ෂා කරන බවට තහවුරු කල යුතු බව ද ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් වෙත සිහිපත් කළේය.