සඳහිරු සෑ රදුන් හී භාරකාරීත්වය අටමස්ථානය වෙත ලබා දීම පිළිබඳ
මූලික සාකච්ඡාවක් අනුරාධපුරයේදී
ඔක්තෝම්බර් 10, 2025
සඳහිරු සෑ රදුන් හී භාරකාරීත්වය අටමස්ථානය වෙත ලබා දීම පිළිබඳ මූලික සාකච්ඡාවක් ඊයේ (ඔක්තෝබර් 09) දින අටමස්ථානාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ සහ රුවන්වැලි සෑ විහාරාධිකාරී, රජරට විශ්ව විද්‍යාලයේ කුලපති, ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී පැවැත්විණි.
ජාතික වශයෙන් වැදගත්කමක් උසුලන මෙම උත්සවයේ ආගමික කටයුතු මෙන්ම අනෙකුත් අවශ්‍ය විධිවිධාන සම්බන්ධීකරණය කිරීමේ අරමුණින් පැවති මෙම සාකච්ඡාව සඳහා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මහ කොමසාරිස් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීම සඳහා ක්‍රියාත්මක කෙරුණු මානුෂීය මෙහෙයුම් සමයේදී රට වෙනුවෙන් දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ රණවිරුවන් අනුස්මරණය කරමින් හා ඔවුනට පින් පමුණුවීමේ අරමුණින් 2010 වසරේදී සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදි . සියලු ශ්‍රී ලාංකිකයන්ගේ කෘතවේදීත්වයේ සහ ජාතික සමගියේ ස්ථිරසාර සංකේතයක් වශයෙන් මෙම ස්ථූපය හැඳින්විය හැකිය.
වසර ගණනාවක් පුරාවට ත්‍රිවිධ හමුදාව, විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම, සැදැහැවත් බෞද්ධ ජනතාව විසින් මෙම ස්ථූපයේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය නිරන්තරයෙන් ලබා දෙන ලද අතර, එහි ධාතු ගර්භයෙහි තැන්පත් කොට ඇති ධාතුන් වහන්සේලා හා පූජනීය වස්තුන් සඳහිරු සෑයේ ආධ්‍යාත්මික වටිනාකම තවදුරටත් තීව්‍ර කරනු ලබයි.
එම පැවති හමුවේදී, සඟසතු කිරීමේ පූජෝත්සවය පිළිබඳ මෙන්ම, ඒ හා සම්බන්ධ සැපයුම්, ආරක්‍ෂක කටයුතු, ආගමික වතාවත් සහ අවශ්‍ය යටිතල පහසුකම් නඩත්තුව මෙන්ම, අනෙකුත් විවිධ අංශවලට අදාළ මූලික කරුණු බොහොමයක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.
එහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක ලේකම්වරයා, සඳහිරු සෑය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීමට දායක වූ සියලුම පාර්ශ්වයන්ගේ ප්‍රයත්නයන් බෙහෙවින් අගය කළ අතර, එම ස්ථූපය මෙන්ම, අවට පූජා භූමියේ අඛණ්ඩතාව වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවද, තහවුරු කළේය.