ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා “මිහිඳු සෙත් මැදුර” රණවිරු සුවතා නිකේතනයේ සිදුකළ සංචාරයේ දී ආබාධිත රණවිරුවන් වෙනුවෙන් වන කැපවීම යළි තහවුරු කරයි
ඔක්තෝම්බර් 15, 2025ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අද (ඔක්තෝබර් 15) දින “මිහිඳු සෙත් මැදුර” රණවිරු සුවතා නිකේතනයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. මෙම සංචාරය, රට දැය වෙනුවෙන් අභීතව සටන් වැද රණක්‍ෂිතයට පත්ව සිටින රණවිරුවන්ගේ සෞඛ්‍ය සුබසාධනය සහ ඔවුන්ගේ දිගුකාලීන රැකවරණය වෙනුවෙන් රජයේ නොසැලෙන කැපවීම යළිත් වරක් තහවුරු විය.
“මිහිඳු සෙත් මැදුර” රණවිරු සුවතා නිකේතන පරිශ්‍රය වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා, එහි සේනාවිධායක බ්‍රිගේඩියර් පී.ඩී.එන්.අයි. අල්මේදා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පිහිටුවන ලද “මිහිඳු සෙත් මැදුර” රණවිරු සුවතා නිකේතනය, පසුගිය යුද ගැටුම් සමයේදී දරුණු තුවාල ලැබූ රණවිරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම අවශ්‍ය රැකවරණය සැලසීම සඳහා කැපවූ සෞඛ්‍ය සුවතා හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයකි. මෙම රණවිරු සුවතා නිකේතනය මගින් ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය උපදේශන, උසස් තාක්‍ෂණික කෘතිම හා විකලාංග ආධාර, භෞත චිකිත්සාව සහ මානසික සෞඛ්‍ය උපදේශන ඇතුළු සේවාවන් රැසක් සපයනු ලබයි.
අමාත්‍යවරයා සිය සංචාරයේදී “මිහිඳු සෙත් මැදුර” රණවිරු සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් සමඟ පෞද්ගලිකව අදහස් හුවමාරු කරගත් අතර, එහිදී ඔවුන්ගේ අත්දැකීම්, අභියෝග සහ කැපවීම පිලිබඳ තොරතුරු විමසීමට කටයුතු කළේය. මෙම මධ්‍යස්ථානය ආබාධිත රණවිරුවන් හට ලැබිය යුතු ගෞරවය, ශාරීරික හා මානසික සුවතාවය සහ රැකවරණය ලබාදීමේ තෝතැන්නක් වශයෙන් පවතින බවට සහතික කිරීම සඳහා එහි නේවාසිකයින්ට සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත ආරක්‍ෂක අමාත්‍යාංශයේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව ද ඔහු සහතික කළේය.
තවදුරටත් නියෝජ්‍ය අමාත්‍යවරයා, රණවිරු සුවතා මධ්‍යස්ථානය තුළ ක්‍රියාත්මක පුනරුත්ථාපන ක්‍රියාවලිය අධීක්‍ෂණය කරනු ලබන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පුළුල් සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී මධ්‍යස්ථානයේ වත්මන් මෙහෙයුම් ප්‍රමිතීන් සමාලෝචනය කිරීම සහ පහසුකම් හා සේවාවන්හි අඛණ්ඩ වැඩිදියුණු කිරීම් සඳහා සැලසුම් කිරීම යන අංශ කෙරෙහිද අවධානයට ලක්විය .
“මිහිඳු සෙත් මැදුර” රණවිරු සුවතා නිකේතනය වෙත සිදුකළ මෙම සංචාරය රණවිරුවන් සඳහා ඉටුවිය යුතු යුතුකම් යුධ පිටියෙන් ඔබ්බට විහිදෙන බවට ප්‍රබල සිහිපත් කිරීමක් වේ. ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ආබාධිත රණවිරුවන්ගේ වීරත්වය සහ කැපකිරීම් උදෙසා ලැබිය යුතු ගෞරවය, දයාව සහ නොසැලෙන සහයෝගය, අඛණ්ඩව සහ පරිපූර්ණ වශයෙන් ලබාදෙන බවට පුනරුත්ථාපන ප්‍රයත්නයන් තුළින් සහතික කෙරේ.
මෙම අවස්ථාවට විධායක ජෙනරල්, මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා, රණවිරු පුනරුත්ථාපන අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අධක්‍ෂක ජෙනරල්, මේජර් ජෙනරල් රන්ජන් විජේදාස ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහ මිහිඳු සෙත් මැදුරේ කාර්ය මණ්ඩලය ද සහභාගී වූහ.