කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්‍ෂක විධිවිධාන සමාලෝචනයට ඉහළ පෙළේ සාකච්ඡාවක් පැවැත්වේ

ඔක්තෝම්බර් 23, 2025

ජාතික ආරක්‍ෂාවට ප්‍රමුඛත්වය ලබා දෙමින්, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්‍ෂක විධිවිධාන සම්බන්ධයෙන් වූ ඉහළ පෙළේ සමාලෝචන සාකච්ඡාවක් අද (ඔක්තෝබර් 23) දින පැවැති අතර, එය වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ගරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්තගේ (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාව විවෘත කරන ප්‍රධාන ගුවන් දොරටුව වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සමස්ථ ආරක්‍ෂාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ කරුණු මෙම රැස්වීමේදී පුළුල්ව සමාලෝචනය කෙරිණි.

එහිදී, අදහස් දැක්වු ආරක්‍ෂක ලේකම්වරයා ජාතික ආරක්‍ෂාව, ආර්ථික වර්ධනය සහ ජාත්‍යන්තර සම්බන්ධතාවලදී ගුවන්තොටුපොළෙහි ඇති තීරණාත්මක කාර්යභාරය සඳහන් කරමින්, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඉහළම ආරක්‍ෂක විධිවිධාන පවත්වාගෙන යාමේ අතිශය වැදගත්කම අවධාරණය කළේය. තවදුරටත්, මගීන්ගේ, ගුවන් කාර්ය මණ්ඩලවල, ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයේ සහ ගුවන්තොටුපොළ මෙහෙයුම් සමඟ සම්බන්ධ අනෙකුත් සියලුම පුද්ගලයින්ගේ ආරක්‍ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

එමෙන්ම, ගුවන්තොටුපොළේ කටයුතු මැනවින් පවත්වාගෙන යාම සඳහා සියලුම පාර්ශවකරුවන්ගේ කැපවීම අගය කල අතර, ගුවන්තොටුපොළේ ඉහළම ආරක්‍ෂණ සහ ආරක්‍ෂක ප්‍රමිතීන් පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩ සම්බන්ධීකරණයේ වැදගත්කම ද ආරක්‍ෂක ලේකම්වරයා මෙම අවස්ථාවේ අවධාරණය කළේය.

තවද, මෙම සාකච්ඡාවේදි නීතිවිරෝධී ක්‍රියා මැඩපැවැත්වීම, ආයතන අතර සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම සහ සිදුවිය හැකි තර්ජන සඳහා දැනට පවතින ප්‍රතිචාර යාන්ත්‍රණ වැඩිදියුණු කිරීම පිළිබඳව ද අවධානය යොමු විය. මෙම අවස්ථාවට සහභාගී වූ නිලධාරින් ඔවුන්ට අදාළ ක්ෂේත්‍රවල මුහුණ දෙන අභියෝග පිළිබඳව අදහස් හුවමාරු කර ගත් අතර, පවත්නා ක්‍රියා පටිපාටියේ කාර්යක්‍ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ප්‍රායෝගික විසඳුම් ද ඉදිරිපත් කළහ.

සියලු ආයතනවල සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින්, ගුවන්තොටුපොළේ ආරක්‍ෂක කළමනාකරණය වඩාත් කාර්යක්‍ෂම හා ඒකාබද්ධ ප්‍රවේශයක් ඔස්සේ පවත්වාගෙන යාම සඳහා විශේෂිත ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීමට මෙම හමුවේදී ඒකමතිකව එකඟතාවයද පළ විය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා, ආරක්‍ෂක ලේකම්වරයා සහ සෙසු ඉහළ නිලධාරීන්, ගුවන්තොටුපොළේ දැනට ක්‍රියාත්මක ආරක්‍ෂක විධිවිධාන පිළිබඳව සොයා බැලීම සඳහා එම පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත විය.

මෙම සාකච්ඡාවට වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්, ජාතික බුද්ධි ප්‍රධානි, පොලිස්පතිවරයා සහ ශ්‍රී ලංකා රේගුව, රාජ්‍ය බුද්ධි සේවය (SIS), ගුවන්තොටුපොළ හා ගුවන් සේවා අධිකාරිය, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ දේශසීමා අවදානම් තක්සේරු මධ්‍යස්ථානය යන ආයතනයන්හි ප්‍රධානීන්ද සහභාගී විය. තවද, යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ ජෙනරාල්, ගුවන් හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, කොළඹ උතුර නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ විශේෂ ශාඛාවේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නිරෝධායන සේවා අධ්‍යක්‍ෂ සහ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා, පොලිස් සහ රාජ්‍ය නිලධාරීන් ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.