ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා තුර්කි ජනරජයේ 102 වැනි සංවත්සර සැමරුම් උත්සවයට සහභාගී වෙයි

ඔක්තෝම්බර් 30, 2025

ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපති කාර්යාලය සංවිධානය කරනු ලැබූ තුර්කි ජනරජය ස්ථාපනය කොට වසර 102 පිරීම නිමිත්තෙන් වූ සංවත්සර සැමරුම් උත්සවය, අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ (ඔක්තෝබර් 29) දින කොළඹ, Shangri-La හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය,  හිණිදුම සුනිල් සෙනෙවි මැතිතුමා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුයේය. 

ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර පවතින ශක්තිමත් සහ මිත්‍රශීලී සබඳතාවල අඛණ්ඩ කැපවීම සංකේතවත් කරමින්, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) එම උත්සවයේ ගෞරවනීය ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපති ගරු Lütfü Turgut මැතිතුමා විසින් උත්සවයට සපැමිණි සම්භාවනීය අමුත්තන් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

තානාපති Turgut මැතිතුමා උත්සවයේ පිළිගැනීමේ කතාව පවත්වමින්, දෙරට අතර පවතින ශක්තිමත් සබඳතාවේ ස්ථිරසාරත්වය පිළිබඳ අදහස් දැක්වූ අතර, විශේෂයෙන්ම අධ්‍යාපනය, සංස්කෘතිය, වෙළෙඳ කටයුතු මෙන්ම නාවික හා සාගර ආරක්‍ෂාව යන අංශවල වර්ධනය වන ද්විපාර්ශ්වික සහයෝගිතාව සම්බන්ධයෙන් අගය කළේය. තවද, රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික සහ සංස්කෘතික සහයෝගීතාව ඔස්සේ ශ්‍රී ලංකාව සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට තුර්කි ජනරජය අඛණ්ඩව කටයුතු කරන බව ඔහු යළිත් අවධාරණය කළේය.

මෙහිදී සභාව අමතමින් අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් සෙනෙවි මැතිතුමා, දෙරට අතර පවතින දිගුකාලීන ආරක්‍ෂක, ආර්ථික හා සංස්කෘතික සහයෝගීතාව පිලිබඳ සිය ප්‍රශංසාව පළ කළේය. එපමණක් නොව, මෙම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ගෙන දෙන හවුල්කාරිත්වයන් අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.

මෙම විචිත්‍රවත් උත්සව අවස්ථාවට විදෙස් තානාපතිවරුන්, කැබිනට් අමාත්‍යවරුන්,  විපක්‍ෂ නායක ඇතුළු දේශපාලන නායකයින්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් මෙන්ම සම්භාවනීය අමුත්තන් රැසක්ද එක්ව සිටියහ.