ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා “සෙනෙහස” අධ්‍යාපන, සම්පත්, පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රයේ සංචාරයක නිරත වෙයි

නොවැම්බර් 03, 2025

ආරක්‍ෂක අමාත්‍යාංශය සහ රණවිරු සේවා අධිකාරිය එක්ව පිහිටුවා ඇති "සෙනෙහස" අධ්‍යාපන, සම්පත්, පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රය (‘Senehasa’ Education, Resource, Research, and Information Centre - SERRIC), විශේෂිත ළමා සුරැකුම් ආයතනයක් වන අතර, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට රැකවරණය සහ සහාය ලබාදීමෙන් ඔවුන්ගේ සිහින හා අභිලාෂයන් කරා යාමට උපකාර කිරීම එහි මූලික අරමුණයි. මෙම මධ්‍යස්ථානය ඔස්සේ ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්ගේ මෙන්ම එම අංශවල සේවයේ නියුතු සිවිල් සේවක ප්‍රජාවගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් දිවා කාලීන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මැතිතුමා සමඟින් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 31) දින එම මධ්‍යස්ථානයේ විශේෂ සංචාරයක නිරත වුහ.

සංචාරය අතරතුර ඔවුන් පළමුව "සෙනෙහස" අධ්‍යාපන, සම්පත්, පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රයේ පවතින පහසුකම් පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී ඔවුන්ට එම අධ්‍යාපන මධ්‍යස්ථානයේ පවතින නවීන අධ්‍යාපනික පහසුකම් සහ එහි භාවිතා කරන සමෝධානික ඉගෙනුම් ක්‍රමවේදයන් ප්‍රායෝගිකව දැක බලා ගැනීමට අවස්ථාව හිමි විය. ඉන් අනතුරුව, "සෙනෙහස" අධ්‍යාපන, සම්පත්, පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රයෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් උපේන්ද්‍ර කරුණාරත්න විසින් මධ්‍යස්ථානය සම්බන්ධව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදි.

එහිදී, මධ්‍යස්ථානයේ ඉගෙනුම ලබන දරුවන් පිරිසක් විසින් ඉදිරිපත් කළ හෘදයාංගම රංගන සහ ඉදිරිපත් කිරීම් මාලාව වෙත සියලු දෙනාගේ ආකර්ෂණය හිමි වු අතර, නිර්මාණාත්මක ක්‍රියාකාරකම් මගින් දරුවන්ගේ සංවර්ධනය පෝෂණය කිරීමට සහ එම දරුවන් හට විශිෂ්ඨ අධ්‍යාපනයක් ලබාදීමට එම මධ්‍යස්ථානය හා එහි කාර්ය මණ්ඩලය තුළ පවතින නොසැලෙන කැපවීම මනාව ප්‍රදර්ශනය විය.

එහිදී සභාව ඇමතූ නියෝජ්‍ය අමාත්‍යවරයා, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ සුභසාධනය සඳහා "සෙනෙහස" අධ්‍යාපන, සම්පත්, පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රයේ කාර්ය මණ්ඩලය දක්වන අප්‍රතිහත කැපවීම සම්බන්ධයෙන් සිය හෘදයාංගම ප්‍රශංසාව පළ කළේය. තවද, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වඩාත් පුළුල් සේවාවක් සැපයීමත් තිරසාරව සංවර්ධනය කිරීම තහවුරු කිරීමත් වෙනුවෙන් අධ්‍යාපන, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශ මෙන්ම අනෙකුත් පාර්ශ්වකරුවන් හා විෂයානුබද්ධ විශේෂඥයින් සමඟ සාකච්ඡා කර විශේෂ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බව ද ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ දරුවන්ගේ දෙමාපියන් ඉදිරිපත් කළ ගැටලු කෙරෙහි පූර්ණ අවධානය යොමු කළ අතර, එම ගැටලුවලට ප්‍රමාදයකින් තොරව ඵලදායී විසඳුම් හඳුනාගෙන ක්‍රියාවට නංවන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

එහිදී අදහස් දැක්වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මැතිතුමා, "සෙනෙහස" මධ්‍යස්ථානය තුලින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා සපයන විශිෂ්ඨ පහසුකම් සහ ඒ වෙනුවෙන් කැපවූ කාර්ය මණ්ඩලයේ සේවය අගය කරන ලදි. තවද, එම මධ්‍යස්ථානය සතුව පවතින වඩාත් ආදරණිය හා කරුණාබර සංස්කෘතිය ප්‍රශංසාවට ලක් කළ ඒ මහතා, එම දරුවන් වෙනුවෙන් රජය විසින් ලබා දෙන ස්ථිර සහාය ද පිළිගැනීමට ලක් කළේය.

මෙරට සිටින ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ශක්තිමත් පනතක සහාය ද සහිතව නව ප්‍රතිපත්ති ක්‍රියාකාරී සැලැස්මක් සංවර්ධනය කිරීම සඳහා රජය විසින් නිශ්චිත පියවර ගනිමින් සිටින බව ද ගරු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය. ඒ අනුව පවතින පහසුකම් වැඩිදියුණු කිරීමට සහ අත්‍යවශ්‍ය සත්කාර සේවා පුළුල් කිරීමට ද විශේෂ අරමුදල් වෙන් කර ඇති අතර, මෙම කැපවීම සියලු දෙනාට ප්‍රවේශ විය හැකි සහ සහාය දෙන සමාජයක් වෙත යන වැදගත් ඉදිරි ගමනක් සනිටුහන් කරයි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක සේවා), යුද්ධ හමුදා සහ ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානීන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නොවිධිමත් හා විශේෂ අධ්‍යාපන පිළිබඳ අධ්‍යක්‍ෂ, බස්නාහිර පළාත් ආයුර්වේද වෛද්‍ය කොමසාරිස්, රණවිරු සේවා අධිකාරියේ උප සභාපති ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.