“ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය” ට සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය හෙට (නොවැ 05) දින පැවැත්වේ

නොවැම්බර් 04, 2025

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පුර්ණ සම්බන්ධීකරණය හා අධීක්‍ෂණය යටතේ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව පැවැත්වීමට නියමිත ඉන්දියන් සාගර සුනාමි අභ්‍යාසය (IOWave25) 2025 නොවැම්බර් 05 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

යුනෙස්කෝ අන්තර් රාජ්‍ය සාගර විද්‍යා කොමිසම (IOC - UNESCO) විසින් ඉන්දියන් සාගර සුනාමි අනතුරු ඇඟවීමේ හා අවම කිරීමේ පද්ධතිය (IOTWMS) හරහා සම්බන්ධීකරණය කරන ලද කලාපිය අභ්‍යාසයක් වශයෙන් මෙය සංවිධානය කොට තිබේ.

ඒ අනුව, මෙම ප්‍රයෝගික පෙරහුරු වැඩසටහන මඩකළපුව, යාපනය, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්ක වලට අයත් තෝරාගත් ග්‍රාම සේවා නිලධාරී කොට්ඨාශ 05ක් කේන්ද්‍ර කර ගනිමින් 2025 නොවැම්බර් 05 වන දින එනම් හෙට දින උදැසන 08.30 ට ආරම්භ කිරීමට නියමිතය.

යුනෙස්කෝ නිල මාර්ගෝපදේශ වලට යටත්ව සිදු කෙරෙන මෙම අභ්‍යාසය සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, පළාත් පාලන ආයතන, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය මෙන්ම, එම ප්‍රදේශවල පිහිටි පාසල්, හෝටල් ඇතුළු ආයතන මෙන්ම, ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙනු ඇත.

මෙම වැඩසටහන විශේෂ අභ්‍යාසයක් පමණක් වන බැවින් අනියත බියක් ඇති කර නොගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාව වෙත දැනුම් දී සිටී.

මෙහිදී පුරෝකථනය කරනු ලබන භූ කම්පන තත්ත්වයක් හේතුවෙන් ඇතිවන සුනාමි තත්වයක් නිදර්ශනය කරනු ලබන අතර, ඒ අනුව අදාළ රාජ්‍ය හා පෞද්ගලික ආයතන ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ පෙර පුහුණුවක් ලබාදීම, ජාතික සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය පරීක්‍ෂා කිරීම හා ශක්තිමත් කිරීම, සම්මත මෙහෙයුම් පටිපාටි (SOP) වලංගු කිරීම මෙන්ම, සිවිල් ප්‍රජාව හා අදාළ පළමු ප්‍රතිචාර දක්වන්නන් තුළ දැනුවත්භාවය ඉහල නැංවීම අරමුණු කරනු ලබයි.

තවද, මෙම අභ්‍යාසය පැවැත්වෙන කාලසීමාව තුළ සැබෑවටම සුනාමි තත්ත්වයක් ඇතිවුවහොත් අභ්‍යාසය වහාම අවලංගු කරනු ඇත. එවැනි තත්ත්වයකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ස්ථාපනය කොට ඇති සම්මත ක්‍රියාපටිපාටි වලට අනුකුලව නිල වශයෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට කටයුතු කරනු ලබන අතර, ඊට අනුගත වෙමින් ජනතාව ක්‍ෂණිකව ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරන බව ද, මෙයින් දන්වා සිටී.