ආරක්‍ෂක ලේකම්වරයා ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ශිෂ්‍ය නිලධාරීන් අමතයි

නොවැම්බර් 06, 2025

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), සිය විශේෂඥ දැනුම හා පරිණත දැනුම බෙදා ගනිමින්, අද (නොවැම්බර් 6) දින කොළඹ පිහිටි ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ශිෂ්‍ය නිලධාරීන් අමතමින් දේශනයක් පවත්වන ලදී.

ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ආඥාපති මේජර් ජෙනරල් චමිල මුණසිංහ විසින් ආරක්‍ෂක ලේකම්වරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව ආඥාපතිවරයාගේ ආරාධනයෙන් ආරක්‍ෂක ලේකම්වරයා විසින් පවත්වනු ලබන මෙම වාර්ෂික දේශනය සිදු කරන ලදී.

එහිදී පාඨමාලාවට අයත් දෙස් විදෙස් නිලධාරීන් අමතමින් ආරක්‍ෂක ලේකම්වරයා අවධාරණය කළේ, ජාතික ආරක්‍ෂක අභියෝග හා අවස්ථාවන් වලට මුහුණ දීම සඳහා දැනුමෙන් පරිපුර්ණ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් හැඩගැස්වීමේදී ජාතික ආරක්‍ෂක විද්‍යායතනය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි. එමෙන්ම, ඔහු ආරක්‍ෂාව යනු අන්තර් සම්බන්ධිත සංකල්පයක් බවට ශ්‍රී ලංකාවේ අත්දැකීම් සාක්‍ෂි දරන බවත් ජාතික ආරක්‍ෂක විද්‍යායතනය මගින් ලබාදෙන පුහුණුව හුදෙක් ශාස්ත්‍රීය පාඨමාලාවක් පමණක් නොව එමගින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තුළ පරිවර්තනීය වෙනසක් සිදු කෙරෙන බවත් ප්‍රකාශ කළේය.

"සැබෑ උපායමාර්ගික නායකත්වය යනු අනාගතය අනාවැකි කීම නොව, ඒ සඳහා සූදානම් වීමයි," යනුවෙන් එතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

එම පාඨමාලාවට අදාළව ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලා විෂය නිර්දේශයේ කොටසක් වශයෙන් මෙම දේශන සැසිය පවත්වන ලදී.
 
ජාතික ආරක්‍ෂාව, රාජ්‍ය කටයුතු, රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලිය සහ මහජන ප්‍රතිපත්ති යන ක්ෂේත්‍රවල උපායමාර්ගික චින්තකයින් ලෙස කටයුතු කිරීමට හැකි අනාගත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුමෙන් සන්නද්ධ කිරීම හා සංවර්ධනය කිරීම ඔස්සේ ජාතික අවශ්‍යතා සුරක්‍ෂිත කිරීම සහ ඉදිරියට ගෙන යාම සඳහා ජාතික ආරක්‍ෂක විද්‍යායතනය කැපවී ක්‍රියා කරයි.

දේශනය අවසානයේ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ආඥාපතිවරයා විසින් ගෞරවයේ හා සුහදත්වයේ සංකේතයක් ලෙස ආරක්‍ෂක ලේකම්වරයා වෙත සමරු තිළිණයක් ද පිරිනමන ලදී.