නීතිවිරෝධී ධීවර කටයුතු සහ අනවසර මසුන් ඇල්ලීම වැළැක්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ
නොවැම්බර් 13, 2025ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ නීතිවිරෝධී ධීවර කටයුතු සහ අනවසර මසුන් ඇල්ලීම වැළැක්වීමේ උපාය මාර්ග සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය අඟහරුවාදා (නොවැම්බර් 11) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පවත්වන ලදි.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර මැතිතුමා සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ගරු හර්ෂණ නානායක්කාර මැතිතුමාගේ සම ප්‍රධානත්වයෙන් මෙම හමුව පවත්වන ලදි.
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
සාකච්ඡාව අතරතුර, මෙරට සාගර කලාපය තුල ධිවර කටයුතු සම්බන්ධව මතුවෙමින් පවතින අභියෝගවලට ඵලදායී ලෙස මුහුණ දීම සඳහා අවශ්‍ය වන වැළැක්වීමේ ක්‍රියාමාර්ග, නීතිය ක්‍රියාත්මක කිරීමේ පියවර මෙන්ම අන්තර් ආයතනික සහයෝගීතාව ප්‍රවර්ධනය යන කරුණු කෙරෙහි අවධානය යොමු කරනු ලැබීය.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා, නාවික හමුදාපති, පොලිස්පති, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධ්‍යක්‍ෂ ජෙනරාල්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (PNB) නියෝජ්‍ය පොලිස්පති ඇතුළු අනෙකුත් අදාල අංශ නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
තවද, දේශීය හා විදේශීය යාත්‍රා මගින් මෙරට මුහුදු සීමාව තුළ සිදුකෙරෙන අනවසර මත්ස්‍ය දඩයම්, ගුවන් විදුලි සංඛ්‍යාත අනවසරයෙන් භාවිත කිරීම සහ ධීවර කටයුතු මුවාවෙන් සිදු කෙරෙන නීතිවිරෝධී ජාවාරම් ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. විශේෂයෙන්ම, දේශීය ද්විතියික ධීවර යාත්‍රා විසින් මත්ස්‍ය අභයභූමි ඇතුළු ධිවර කටයුතු සිදුකිරීම තහනම් කොට ඇති ප්‍රදේශ තුළ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වීම සඳහා එම යාත්‍රාවල සවිකොට ඇති නිරීක්‍ෂණ පද්ධතිය (VMS) හිතාමතාම අක්‍රීය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන ලදි.
සාකච්ඡාව සඳහා සහභාගී වූ සියලු පාර්ශ්වකරුවන් සමුද්‍රීය නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීම, අන්තර් ආයතනික සම්බන්ධීකරණය ඉහළ නැංවීම සහ තත් කාලීනව ධීවර යාත්‍රා නිරීක්‍ෂණය කිරීම සහතික කිරීම සඳහා තාක්‍ෂණික විසඳුම් ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාව පිළිබඳ අවධාරණය කරන ලදි. අප රටේ ධීවර සම්පත් මෙන්ම නීත්‍යානුකූලව ධිවර කටයුතුවල නියැලෙන ධීවරයන්ගේ ජීවනෝපාය ආරක්‍ෂා කිරීම සඳහා අදාළ නීති කඩ කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.
මේ සම්බන්ධයෙන් මීට පෙරද විශේෂ සාකච්ඡා පැවැත්වුණු අතර, එහි තවත් අදියරක් වශයෙන් මෙම සැසිය පවත්වන ලද අතර, ඒ ඔස්සේ නීතිවිරෝධී, වාර්තා නොවූ හෝ නියාමනය නොවූ (IUU) ධීවර කටයුතු ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවෙන් තුරන් කිරීම සඳහා රජයේ අඛණ්ඩ කැපවීම යළි තහවුරු කරයි.