ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා සන්නද්ධ හමුදා සැමරුම් දිනයට සහ පොපි මල් උත්සවයට එක්වෙයි
නොවැම්බර් 16, 202581 වන සන්නද්ධ හමුදා සැමරුම් දිනය සහ පොපි මල් සැමරුම් උත්සවය අද (නොවැම්බර් 16) දින කොළඹ, විහාරමහාදේවි උද්‍යානයේ පිහිටි Cenotaph හමුදා ස්මාරකය අභියසදී අභිමානවත් අයුරින් පැවැත්විණි. ශ්‍රි ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ මූලිකත්වයෙන් ත්‍රිවිධ හමුදාව එක්ව සංවිධානය කරන ලද මෙම උත්සවය, රට වෙනුවෙන් දිවි පිදූ සියලු ශ්‍රී ලාංකීය රණවිරුවන්ගේ මතකය ආවර්ජනය සහ ඔවුන් විසින් රට දැය වෙනුවෙන් සිදුකල උත්තරීතර පරිත්‍යාගයන් සිහිපත් කිරීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබයි.
ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ඊට සහභාගී වූවාය.
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විශේෂ ආරාධිතයන් ලෙස මෙම උත්සවයට සහභාගී වූහ.
ශ්‍රි ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ සභාපති, ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික) විසින් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගි වූ අග්‍රාමාත්‍ය අමරසූරිය මැතිනිය ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
ආගමික වතාවත් සිදුකිරීමෙන් උත්සවයේ කටයුතු ආරම්භ වූ අතර, ඉන් පසු රට වෙනුවෙන් දිවි පිදූ ශ්‍රේෂ්ඨ රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදී.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍යතුමිය, සම්භාවනීය අමුත්තන් සහ ශ්‍රි ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ සාමාජිකයන් විසින් යුද ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ අතර, එය ජාතියේ වීරවරයන් විසින් සිදුකල උත්තරීතර පරිත්‍යාගය වෙනුවෙන් ජාතියේ කෘතඥතාව සංකේතවත් කරනු ලැබීය.
ශ්‍රී ලංකා යුද සහ නාවික හමුදාපතිවරුන්, මෙරට සිටින විදේශීය තානාපතිවරුන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රි ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ සාමාජිකයන් මෙන්ම ජාතියේ චිරස්ථිතිය උදෙසා දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම උත්සවයට එක්ව සිටියහ.