බංග්ලාදේශ ජනරජයේ 54 වැනි සන්නද්ධ හමුදා දින උත්සවය ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ
නොවැම්බර් 25, 2025බංග්ලාදේශ ජනරජයේ 54 වැනි සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවය පසුගිය දා (නොවැම්බර් 24) සන්ධ්‍යාවේ කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගී විය.
ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද ගරු ආරාධිත අමුත්තෙකු වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වුයේය.
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අතිගරු Andalib Elias මැතිතුමා විසින් මෙම උත්සවයට සපැමිණි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු M. Moniruzzaman විසින් උත්සවයේ පිළිගැනීමේ කතාව සිදුකළේය.
එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, 1971 වර්ෂයේ දී බංග්ලාදේශ සන්නද්ධ හමුදාවේ ඓතිහාසික ආරම්භය සිහිපත් කරමින්, එම ජාතිය ගොඩනැගීම සඳහා ඔවුන් විසින් සිදුකල විශිෂ්ඨ කැපකිරීම් සහ එහි විමුක්ති සංග්‍රාමයේ නොමැකෙන උරුමය වෙනුවෙන් සිය උපහාරය පුද කළේය. එමෙන්ම දෙරට අතර පවතින්නා වූ ඓතිහාසික සහයෝගිතාවය, සංස්කෘතික බැඳීම් සහ කලාපීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන පොදු දැක්මක් මත පදනම් වූ ශක්තිමත් මිත්‍රත්වය පිළිබඳව ද අවධාරණය කළේය. වෘත්තිමය දැනුම හුවමාරු වැඩසටහන්, පුහුණු වැඩසටහන් සහ නිල සංචාර හරහා ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බවත්, එමඟින් දෙරටේ සන්නද්ධ හමුදා අතර අව්‍යාජ සහෝදරත්වය සහ ඵලදායී සහයෝගීතාව වර්ධනය කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
තවද, සාගර කලාප ආශ්‍රිත ආරක්‍ෂක තර්ජන, සයිබර් අවදානම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු දේශසීමා ඉක්මවා යන අපරාධ මෙන්ම දේශගුණික හා කාලගුණික ව්‍යසන වැනි නිරන්තර අභියෝගයන්ට මුහුණ දීම සඳහා ඉහළ සහයෝගීතාවයක් පවත්වාගැනීමේ වැදගත්කම ද නියෝජ්‍ය අමාත්‍ය ජයසේකර විසින් වැඩිදුරටත් අවධාරණය කළේය. එමෙන්ම ආරක්‍ෂක ක්‍ෂේත්‍රයෙන් ඔබ්බට විහිදුණු රෙදිපිළි, ඖෂධ, නැව් ඉදිකිරීම් සහ ඩිජිටල් තාක්ෂණික සේවා වැනි ක්ෂේත්‍රවල ආර්ථික සහයෝගීතාව සඳහා සැලකිය යුතු විභවයක් පවතින බව ද අවධාරණය කළ ඔහු, භූමි ප්‍රමාණය මෙන් අට ගුණයක් වූ සුවිශේෂී ආර්ථික කලාපයක් සහ ඒ ආශ්‍රිත මුහුදු ගමන් මාර්ග ඔස්සේ වාර්ෂිකව 40,000 කට වඩා වැඩි වෙළඳ නෞකා ප්‍රමාණයක් විසින් පරිහරණය කරනු ලබන ඉන්දියානු සාගරය සහ බෙංගාල බොක්ක ආශ්‍රිත සාගර කලාපය තුල ශ්‍රී ලංකාවේ උපායමාර්ගික කාර්යභාරය ඉස්මතු කරමින්, ඒ සඳහා ශ්‍රී ලංකාව වෙත පැවරී ඇති දැවැන්ත සමුද්‍රීය වගකීම් සම්භාරය පිළිබඳව ද සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා විසින් දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ කරුණු ඉස්මතු කළ අතර, ඉදිරියේදීත් දෙරට අතර ආරක්‍ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරන බව පැවසීය. මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් මහ කොමසාරිස්වරයා විසින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදි.
රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, යුද හමුදාපති සහ නාවික හමුදාපති, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම උත්සවයට එක්ව සිටියහ.