අයහපත් කාලගුණික තත්ත්වයට මුහුණ දීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශ පුර්ණ
අධීක්‍ෂණය යටතේ සියලු ආපදා සහන ඒකක සුදානම් කෙරේ
නොවැම්බර් 26, 2025
ශ්‍රී ලංකාවට ආසන්නව මේ වන විට ඇති වෙමින් පවතින දැඩි කැළඹිලි සහගත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපය අතිශය තීරණාත්මක වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2025 නොවැම්බර් 26 වන පෙරවරුවේ නිකුත් කරන ලද නිවේදනය අනුව, දැනට පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා තීව්‍ර වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත්, ගොඩබිම සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණික අනතුරු ඇඟවීම් සහ අවදානම් තත්ත්වය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඒ අනුව, නැගෙනහිර, මධ්‍යම, උතුරු - මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්‍ෂා කෙරේ. උතුරු, උතුරු - මැද, වයඹ, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. (50-60) පමණ තද සුළං ඇති විය හැකි අතර, මෙම තද වැසි සහ සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් වැඩි වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද පැවතිය හැකි අතර, ඒ සමඟින් සුළං වේගය විටින් විට පැ.කි.මී. (60-70) පමණ දක්වා ඉහළ යාමට ඉඩ ඇති හෙයින් මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක. මේ හේතුවෙන් නොවැම්බර් 26 දින සිට නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවට දැඩිව දැනුම් දෙනු ලැබේ.
මෙම බරපතල තත්ත්වය හමුවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ පුර්ණ අධීක්‍ෂණය යටතේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC), සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) ඇතුළු සියලු හදිසි ප්‍රතිචාර ඒකක පූර්ණ සූදානමකින් කටයුතු කරන බව රජය අවධාරණය කරයි.
ත්‍රිවිධ හමුදාවේ සියලුම ආපදා සහන කණ්ඩායම් ඕනෑම හදිසි අවස්ථාවකදී ගලවා ගැනීමේ මෙහෙයුම්, සහන සැපයීම සහ අවතැන් වූවන් ආරක්‍ෂිත මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර ඇති අතර, ගංවතුර සහන කටයුතු සඳහා නාවික හමුදා බෝට්ටු සහ ගුවන් හමුදා ගුවන් යානා හා හෙලිකොප්ටර් ඇතුළු සියලුම සම්පත් සුදානම් කර ඇත. මිනිස් ජීවිත හා දේපළ ආරක්‍ෂා කර ගැනීම සඳහා අවශ්‍ය වන පොලිස් ආරක්‍ෂාව සහ සහාය ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ද දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් සූදානම්ව සිටී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සියලු පළාත් පාලන ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින්, ප්‍රාදේශීය ආපදා කළමනාකරණ ඒකක හරහා ජාතික හදිසි ප්‍රතිචාර සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑම් අවදානම් කලාප පිළිබඳව නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවෙමින් අවශ්‍ය පුර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමටත්, අවශ්‍ය වුවහොත් ජනතාව වහාම ඉවත් කිරීම සඳහාත් කටයුතු කරනු ඇත.
තවද, හදිසි තත්ත්වයකදී පැය 24 පුරා ක්‍රියාත්මක 117 ක්‍ෂණික ඇමතුම් අංකය හෝ +94 112 136 222 දුරකථන අංකය ඔස්සේ හදිසි ප්‍රතිචාර ඒකකය සම්බන්ධ කර ගනිමින් අවශ්‍ය ආපදා සහාය ලබා ගැනීමට කටයුතු කරන ලෙස ද ජනතාව වෙත දැනුම් දී සිටී. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානය යොමු කරන ලෙසත්, ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
මේ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගෙන නිසි පෙර සූදානමකින් යුතුව කටයුතු කිරීමෙන්, සිදුවිය හැකි හානි අවම කර ගැනීමටත් ජීවිත සහ දේපළ ආරක්‍ෂා කර ගැනීමටත් හැකි වනු ඇත.