අයහපත් කාලගුණය හමුවේ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන්: දැවැන්ත හදිසි සහන සහ මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි
නොවැම්බර් 28, 2025දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය අඛණ්ඩව පැවතීම හේතුවෙන්, ත්‍රිවිධ හමුදාව පූර්ණ සූදානමකින් පසුවන අතර, සහන සේවා සහ මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටී.
ජාතික ආරක්‍ෂාව සහ මානුෂීය සහයෝගය ඉහළම ප්‍රමුඛතා ලෙස තබා ගනිමින් ඕනෑම මොහොතක හදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ත්‍රිවිධ හමුදා භට පිරිස් පැය 24 පුරාවටම සූදානමින් සිටින අතර, දැනටමත් සෑම දිස්ත්‍රික්කයකම පාහේ සියලු ආපදා සහන මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිවයින පුරා භට පිරිස් 20,500ක් යොදවා දැවැන්ත ආපදා ප්‍රතිචාර මෙහෙයුමක් දියත් කර ඇති අතර, මෙම පුළුල් මෙහෙයුම යටතේ මේ වන විට තාවකාලික සුරක්‍ෂිතතා මධ්‍යස්ථාන 195ක් ස්ථාපිත කර ඇති අතර, අවතැන් වූ ප්‍රජාවට අවශ්‍ය ආහාරපාන යුද්ධ හමුදාව විසින් අඛණ්ඩව සපයනු ලබයි. එම සුරක්‍ෂිතතා මධ්‍යස්ථානවල මේ දක්වා පවුල් 5,624 ක් සහ පුද්ගලයින් 14,666 ක් රැඳී සිටිති. තවද, යුද්ධ හමුදාව තම ගොඩබිම මුදවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව හා මහත් කැපවීමෙන් යුතුව සිදුකරමින් සිටී.
මෙම මෙහෙයුම් කාර්යක්‍ෂමව කළමනාකරණය කිරීම සඳහා, විශේෂිත මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති අතර, සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන සමඟ සම්බන්ධීකරණය පවත්වා ගනිමින් තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පත්කොට තිබේ. විශේෂයෙන්, මධ්‍යම හා ඌව පළාත්වල පහත්බිම් ප්‍රදේශවල ගංවතුරට හසු වූ පවුල් මුදවා ගැනීමට යුද හමුදා භට පිරිස්, බෝට්ටු, යුනිබෆල් රථ සහ ඩබ්ලිව්.එම්. ඉසෙඩ් රථ ඇතුළු විශේෂිත වාහන යොදා ගනිමින් මුදවා ගැනීමේ මෙහෙයුම් සිදුකරමින් සිටින අතර, නුවරඑළිය, මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික්කවල ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් සිටි.
ගංවතුර හා නාය යෑම් හේතුවෙන් දරුණු ලෙස පීඩාවට පත් ප්‍රදේශවලට කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සීරුවෙන් සිටින අතර, හෙලිකොප්ටර් යානා සහ ගුවන් කාර්ය මණ්ඩලය ප්‍රධාන කඳවුරුවල ස්ථානගත කර ඇත. ඒ යටතේ බටපිරිස් 1666 ක් සූදානමින් සිටින අතර, මේ වන විට ගුවන් හමුදා කණ්ඩායම් 31 ක් මෙහෙයුම් කටයුතුවල නිරතව සිටී.
තවද, ගුවන් හමුදාව විසින් මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා අනුරාධපුරය, පලාලි, පාලවිය, වීරවිල, රත්මලාන සහ හිඟුරක්ගොඩ යන ගුවන් කඳවුරුවල ගුවන් යානා සූදානම් කර ඇති අතර, අධි අවදානම් කලාප කෙරෙහි අවධානය යොමු කරමින් ක්‍ෂණිකව ක්‍රියාත්මක වීමට නිරන්තර සූදානමින් සිටී.
තවදුරටත්, මහදිවුල්වැව ප්‍රදේශවල ගුවන් හමුදාව විසින් මුදවා ගැනීමේ සහ අත්‍යවශ්‍ය සැපයුම් සේවා බෙදා හැරීමේ මෙහෙයුම් සිදුකෙරුණු අතර, ගංවතුර තත්ත්වයන් හේතුවෙන් සිරවී සිටි පුද්ගලයන් මුදවා ගැනීමේ මෙහෙයුම් දියත් කරන ලදි. තවද, දියතලාව ප්‍රදේශයේ යොදවා ඇති කණ්ඩායම් විසින් විපතට පත් පුද්ගලයන් ආරක්‍ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටද කටයුතු සිදු කර ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නොවැම්බර් 22 වන දින සිට පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වෙමින්, දකුණු, නැගෙනහිර, වයඹ සහ උතුරු මැද පළාත්වල විපතට පත් ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය ආපදා සහන සේවා අඛණ්ඩව සපයනු ලබයි. කඩිනම් සහ සම්බන්ධීකරණ ප්‍රතිචාරයක් ලෙස, නාවික හමුදා සහන කණ්ඩායම් ගංවතුර හේතුවෙන් ජීවිත තර්ජනයක් වූ පුද්ගලයන් 911 දෙනෙකු සාර්ථකව ඉවත් කර ගෙන ඇති අතර, පාසල් ළමුන් ඇතුළු සියලුම විපතට පත් වූවන් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමටත් කටයුතු සිදුකර ඇත.
නාවික හමුදා කණ්ඩායම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව ආපදා සහන කටයුතු අඛණ්ඩව සිදුකරන අතර, මුදවා ගැනීමේ මෙහෙයුම් වලට අමතරව, නාවික භට පිරිස් දැඩි සුළං හේතුවෙන් කඩා වැටුණු ගස් ඉවත් කිරීමට සහ කුඩා යාත්‍රා භාවිතා කරමින් හුදකලා වූ පවුල් සඳහා දෛනික අවශ්‍යතා ප්‍රවාහනය කිරීමටද, කටයුතු සිදුකරනු ලබයි. තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව තම අමතර සහන කණ්ඩායම් සියලු නාවික විධාන හරහා සූදානමින් තබා ඇති අතර, ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට ක්ෂණිකව භට පිරිස් යෙදවීමට සඳහා සූදානම්ව සිටියි.