අයහපත් කාලගුණයක් මධ්‍යයේ පවා යුද හමුදා භට පිරිස් විසින් සිදුකෙරෙන හදිසි ආපදා ප්‍රතිචාර මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට

නොවැම්බර් 28, 2025

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ගංවතුර තත්ත්වයට මුහුණ දෙමින් සිටි කයිලගොඩ වැඩිහිටි නිවාසයේ සිටි වැඩිහිටියන් 38 දෙනෙකු ඉන් මුදාගෙන, ඔවුන්ට අවශ්‍ය කෙරෙන අඛණ්ඩ සත්කාර, ආරක්‍ෂාව සහ අත්‍යවශ්‍ය සහාය ලබාදීම සඳහා ආපදා සහන සේවා මධ්‍යස්ථානයක් වෙත ආරක්‍ෂිතව ගෙන යන ලදී.

තවද, දැඩි වර්ෂාපතනය හේතුවෙන් A26 මාර්ගයේ රඹුක්වැල්ල ප්‍රදේශයේදී පස් කඳු කඩා වැටීම හේතුවෙන් සිදුවූ ප්‍රවේශ මාර්ග අවහිරය ඉවත් කිරීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයන්, ශ්‍රී ලංකා පොලීසිය සහ මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව මෙහෙයුමක් දියත් කරනු ලැබීය. මාර්ගය නැවත විවෘත කිරීමට සහ සාමාන්‍ය රථවාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට මෙම කණ්ඩායම් ක්‍ෂණිකව ක්‍රියා කළහ.

මේ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා 211 වන පාබල සේනාංකයේ භට පිරිස් විසින් හොරොව්පතාන ප්‍රදේශයේ පරිපාලන නිලධාරීන් වෙත අවශ්‍ය කඩිනම් සහාය දක්වමින් ක්‍රියා කරනු ලැබූහ. ඒ අනුව, පසුගියදා (නොවැ. 26) දින පටන් දිවයිනට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කකුල්බැදිදිගිලිය වැවේ පිටවානට හානි සිදුව තිබූ බව නිරීක්‍ෂණය කළ නිලධාරීන් එම වැව් බැම්ම ශක්තිමත් කිරීමේ කඩිනම් අවශ්‍යතාව වටහා ගනු ලැබූහ. ඔවුන්ගේ උපදෙස් පරිදි හමුදා සාමාජිකයන්ගේ ක්‍ෂණික මැදිහත්වීමෙන් වැව් බැම්ම ශක්තිමත් කිරීමට හැකි වූ අතර, එමගින් තවදුරටත් ජලය පිටවීම වැලැක්විණි. අද සන්ධ්‍යාව වන විට වැව් බැම්මේ ව්‍යුහය ස්ථාවර කිරීමට හැකියාව ලැබී ඇති අතර, එය ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන ජල සැපයුම සුරක්‍ෂිත කිරීමට සහ සිදුවීමට තිබූ විශාල ව්‍යාසනයක් වැළැක්වීමට හේතු විය.