අයහපත් කාලගුණය හමුවේ මොණරාගල දිස්ත්‍රික්කයේ
යුද හමුදා සහන මෙහෙයුම්

නොවැම්බර් 29, 2025

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් අඛණ්ඩව පැවතීම හේතුවෙන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) සහ 12 වන පාබල සේනාංක භට පිරිස් විසින් මොණරාගල දිස්ත්‍රික්කය පුරා විවිධ හදිසි ආපදා සහන මෙහෙයුම් කඩිනමින් ක්‍රියාත්මක කරමින් සිටි.

මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  කඳවින්න ප්‍රදේශයේ සහන සේවා කටයුතුවල නියුතු 18 වන ගැමුණු හේවා බළඇණියට අයත් භට පිරිස් විසින්, ගංවතුරෙන් විපතට පත් වූ පවුල් 13 කට අයත් පුද්ගලයින් 50 දෙනෙකු සාර්ථකව මුදාගෙන ඇත. මෙලෙස මුදාගත් සියලුම දෙනා, මැදගම පිටදෙණිය ප්‍රාථමික විද්‍යාලයේ සකස් කරන ලද තාවකාලික සුරක්‍ෂිත මධ්‍යස්ථානයක් වෙත ආරක්‍ෂිතව රැගෙන ගොස් තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් කුඹුක්කන් ඔය අමුණ, සුන්බුන් සහ රොන් මඩ තැන්පත් වී ඔයේ ස්වභාවික ජල ගැලීම අවහිර වීමත් සමඟ, 121 වන පාබල බලසේනා මූලස්ථානයට අයත් භට පිරිස් කණ්ඩායමක් විසින් එම සුන්බුන් ඉවත්කර සාමාන්‍ය ජල ගැලීම යළි ස්ථාපිත කරන ලදී. තවදුරටත්, හානි සිදුවීම වැළැක්වීම සඳහා, අමුණ බැම්මේ ඛාදනය වී තිබූ කොටස, එම මූලස්ථානයටම අයත් තවත් කණ්ඩායමක් විසින් වැලි කොට්ට යොදා ශක්තිමත් කිරීමටද, කටයුතු කර තිබේ.

මේ අතර, 121 වන පාබල බලසේනාවට අයත් තවත් කණ්ඩායමක් විසින් 3 කණුව ආසන්නයේ දී කුඹුක්කන් ඔය ඇල මාර්ගය හරහා කඩා වැටී තිබූ ගස් ඉවත් කරන ලදී. අයහපත් කාලගුණික තත්ත්වය දිගින් දිගටම පැවතීම හේතුවෙන්, යුද හමුදා සාමාජිකයින් ආපදාවට පත් ප්‍රජාවන් වෙත අත්‍යවශ්‍ය හදිසි ආධාර සැපයීම අඛණ්ඩව සිදු කරමින් සිටි.