ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා බදුල්ල දිස්ත්‍රික්කයේ සුරක්‍ෂිතතා
මධ්‍යස්ථාන සහ ආපදා ස්ථාන නිරීක්‍ෂණය කරයි

නොවැම්බර් 30, 2025

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් පුද්ගලයින් රැඳී සිටින සුරක්‍ෂිත මධ්‍යස්ථාන හා එම මධ්‍යස්ථානවල සුබසාධනය ක්‍රියාමාර්ග සොයාබැලීම සඳහා මෙන්ම, ආපදා ප්‍රතිචාර ක්‍රියාමාර්ග සොයාබැලීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කය පුරා නිරීක්‍ෂණ චාරිකා කිහිපයක නිරත වූයේය.

ඊයේ (නොවැ. 29) දින, නියෝජ්‍ය අමාත්‍යවරයා අවතැන් වූවන් රැඳී සිටින හපුතලේ ග්ලෙනෝර් දෙමළ මහා විද්‍යාලීය සුරක්‍ෂිත මධ්‍යස්ථානයේ සහ බෝවේ විද්‍යාලීය සුරක්‍ෂිත මධ්‍යස්ථානයේද නිරීක්‍ෂණ චාරිකාවල නිරත වූයේය. එහිදී, නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා එම මධ්‍යස්ථානවල පහසුකම් පරීක්‍ෂාකර අත්‍යවශ්‍ය සේවා සමාලෝචනය කරමින්, එහි නේවාසික පුද්ගලයන්ට අවශ්‍ය නවාතැන්, වෛද්‍ය ආධාර, ආහාර සහ සනීපාරක්‍ෂාව ඇතුළු ක්‍ෂණික අවශ්‍යතා පිළිබඳව සුරක්‍ෂිතතා මධ්‍යස්ථාන නිලධාරින් සහ නේවාසික ජනතාව සමඟ සාකච්ඡා කළේය.

තවද. නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා පසුගිය (නොවැ. 28) දින, ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විපතට පත් පුද්ගලයින් තවදුරටත් රැඳී සිටින බදුල්ල නගරයේ පිහිටි මුතියංගණ රජමහා විහාරය, මුස්ලිම් පල්ලිය සහ නෙළුම්ගමුව මහා විද්‍යාලයේ ස්ථාපිත සුරක්‍ෂිත මධ්‍යස්ථාන ද, නිරීක්‍ෂණය කළේය. තවද, අඛණ්ඩව සිදුවන ගලවාගැනීමේ මෙහෙයුම් පිළිබඳ සොයාබැලීමේ අරමුණින් නියෝජ්‍ය අමාත්‍යවරයා කැප්පෙටිපොළ නායයෑමේ ස්ථානයේද නිරීක්‍ෂණය කළේය.

මෙම ව්‍යසනයෙන් විපතට පත් සියලුම ප්‍රජාවන්ගේ ආරක්‍ෂාව සහ සුබසාධනය සහතික කිරීම සඳහා ආපදා කළමනාකරණ කණ්ඩායම්, පළාත් පාලන ආයතන සහ ආරක්‍ෂක අංශ අතර සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, සහන සැලසීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන ලෙස නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් දුන්නේය.

ආපදා ලක්වුවන්ට අඛණ්ඩව සහාය ලබාදීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය කාර්යක්‍ෂමව සහ දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ආපදා ප්‍රතිචාර පද්ධතියක් පවත්වාගෙන යාමට කැපවී සිටි.