ත්‍රිවිධ හමුදාව ආපදා සහන මෙහෙයුම් වේගවත් කරයි

දෙසැම්බර් 01, 2025

ත්‍රිවිධ හමුදාව ගංවතුරෙන් සහ නායයෑම්වලින් විපතට පත් දහස් සංඛ්‍යාත ජනතාවකට සහන සැලසීම සඳහා දිවයින පුරා සිය මුදාගැනීමේ හා සහන මෙහෙයුම් වේගවත් කර තිබේ. පසුගිය දින දෙක (02) පුරා යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්වී, ආපදාවට පත් ප්‍රජාවන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමේ අරමුණින්, ගොඩබිම, ජලය සහ ගුවන මූලික කරගත් සහන සේවා හා මුදාගැනීම් මෙහෙයුම් පුළුල් කර තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාව ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් විශාල භට කණ්ඩායම් සංඛ්‍යාවක් යොදවා ඇති අතර, ඔවුන් සෝදිසි, මුදාගැනීම් සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත අතර, එහිදී, අවහිර වූ මාර්ගවල සුන්බුන් ඉවත් කිරීම, අබලන් වූ මාර්ග පිළිසකර කිරීම, වැව් බැමි ශක්තිමත් කිරීම සහ සිර වූ සිවිල් වැසියන් ආරක්‍ෂිත ස්ථාන වෙත ගෙන යාම ද සිදු කරනු ලබයි. විශේෂයෙන්ම පොළොන්නරුව, වන්නි, බස්නාහිර සහ මධ්‍යම ප්‍රදේශවල හදිසි ගංවතුරට හසු වූ දහස් ගණනක් මුදා ගැනීමට යුද හමුදාව සමත් වී තිබේ. තවද, අවතැන් වූ පිරිස් රඳවා සිටින සුරක්ශා මධ්‍යස්ථාන වෙත අවශ්‍ය ආහාරපාන සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් අඛණ්ඩව සැපයීම ද යුද හමුදාව විසින් සිදු කරනු ලබයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව නැගෙනහිර, උතුරු මැද, උතුරු, බස්නාහිර සහ සබරගමුව  පළාත්වල සිය මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින අතර, පසුගිය පැය 48ක කාලය තුළදී පමණක්, නාවික කණ්ඩායම් මුදාගැනීම්, සහන ද්‍රව්‍ය ප්‍රවාහනය සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම මගින් ගංවතුරින් පීඩාවට පත් වූ දහසකට අධික පුද්ගලයින් සංඛ්‍යාවකට සහාය වී තිබේ. තවද, හදිසි ප්‍රතිචාර මෙහෙයුම් ආරම්භයේ සිට මේ දක්වා, නාවික හමුදාව විසින් පුද්ගලයින් 10,000 කට අධික සංඛ්‍යාවකට සිය සහාය ලබාදී තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව හෙලිකොප්ටර් සහ ප්‍රවාහන ගුවන් යානා උපයෝගී කර ගනිමින් ගුවන් මුදාගැනීමේ මෙහෙයුම් සාර්ථකව සිදුකර ඇති අතර, අත්‍යවශ්‍ය සැපයුම් බෙදා හැරීම ද සිදුකර ඇත. ගුවන් හමුදාව විසින් දියත් කරන ලද ආසන්නතම මෙහෙයුම් අතරට, මහව ප්‍රදේශයේ ගංවතුරට සිරවී සිටි සිවිල් වැසියන් ගුවනින් මුදාගැනීම ඇතුළත් වේ. එමෙන්ම, ජාතික ආපදා ප්‍රතිචාර දැක්වීමේ ප්‍රයත්න ශක්තිමත් කිරීම සඳහා, ඉන්දියාවෙන් ලැබුණු සහන ද්‍රව්‍ය සහ විශේෂඥ මුදාගැනීමේ නිලධාරීන් මෙරටට රැගෙන ඒම ගුවන් හමුදාව විසින් පහසුකම් සලසා තිබේ.

අයහපත් කාලගුණය අඛණ්ඩව පවතින බැවින්, ත්‍රිවිධ හමුදාව දිවි ආරක්‍ෂා කිරීම සහ අඛණ්ඩ මානුෂීය සහාය ලබාදීම සඳහා ආපදා කළමනාකරණ ආයතන සහ ප්‍රාදේශීය බලධාරීන් සමඟ තවදුරටත් සමීපව කටයුතු කරමින් සිටියි.