ආපදා සහන මෙහෙයුම් පිළිබඳ සාකච්ඡා කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා සහ ඇමරිකා එක්සත් ජනපද ආරක්‍ෂක උපදේශක අතර විශේෂ හමුවක් පැවැත්වේ

දෙසැම්බර් 02, 2025

ශ්‍රී ලංකාව මුහුණ පා තිබෙන ජාතික ස්වභාවික ආපදා තත්ත්වය හමුවේ අවශ්‍ය සහයෝගය හා උපකාර කළ හැකි ආකාර පිළිබඳ සොයා බැලීමේ අරමුණින් කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් Matthew House ඇතුළු නියෝජිත පිරිසක් අද (දෙසැම්බර් 02) දින පෙරවරුවේ  ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු වුහ.

එහිදී, දෙපාර්ශ්වය විසින් මානුෂීය ගලවාගැනීමේ මෙහෙයුම්වල වත්මන් තත්ත්වය මෙන්ම ආපදාවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට කඩිනම් හා ඵලදායී සහයෝගයක් ලබාදීම සහතික කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ යාන්ත්‍රණයන් පිළිබඳව පුළුල් සාකච්ඡාවක් සිදුකල අතර, ආරක්‍ෂක ලේකම්වරයා විසින් ත්‍රිවිධ හමුදාව විසින් සිදුකරනු ලබන ගලවාගැනීම්, ආපදා සහන වැඩසටහන් සහ ප්‍රතිසාධන මුලපිරීම් ඇතුළු ජාතික වශයෙන් ක්‍රියාත්මක ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලීන් පිළිබඳ ඇමරිකා එක්සත් ජනපද නියෝජිත පිරිස දැනුවත් කළේය.

ඉන් අනතුරුව අදහස් දැක්වූ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරයා, මෙම තීරණාත්මක මොහොතේදී හැකි සෑම අයුරින්ම ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය දැක්වීමට ඇමරිකා එක්සත් ජනපදය පූර්ණ වශයෙන් ක්‍රියා කරන බව තහවුරු කළේය. එමෙන්ම, ඉදිරියේදී ආපදාවට පත් ශ්‍රී ලංකික ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය සහන සේවා සහ ද්‍රව්‍යමය සහයෝගය ලබාදීමට කටයුතු කරන බවද ප්‍රකාශ කරන ලදි.  ශ්‍රී ලංකාව මුහුණ දෙන මෙම අසීරු මොහොතේ දී ඇමරිකානු රජය විසින් දක්වනු ලබන මෙම සහයෝගය ඔස්සේ රට තුල ක්‍රියාත්මක වන මානුෂීය මෙහෙයුම් ශක්තිමත් කිරීමටත්, ආපදාවට ලක් වූ දහස් ගණනක් ජනතාව මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීමටත් අපේක්‍ෂා කෙරේ.

ඇමරිකා එක්සත් ජනපදය කාලෝචිත අයුරින් දක්වන මෙම සහයෝගය පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යාංශය වෙනුවෙන් ආරක්‍ෂක ලේකම්වරයා සිය ප්‍රසාදය පළ කළ අතර, මේ ඔස්සේ හදිසි ආපදා අවස්ථාවන්හිදී දෙරට අතර පවතින අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම යළි තහවුරු කරන ලදි.

මෙම අවස්ථාවට යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී ද සහභාගී වූහ.