පශ්චාත් - ආපදා සහන මෙහෙයුම් සඳහා තාක්‍ෂණික විශේෂඥයින් පිරිසක් සමඟ ඇමරිකා එක්සත් ජනපද C-130 ගුවන් යානා දෙකක් දිවයිනට පැමිණේ
දෙසැම්බර් 07, 2025ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සිදුවන පශ්චාත් - ආපදා සහන සහ යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් ශක්තිමත් කිරීමේ අරමුණින් ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් C-130 හර්කියුලිස් ප්‍රවාහන ගුවන් යානා දෙකක් අද (දෙසැ. 07) දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා විය. එමගින් ආපදා සහන මෙහෙයුම් සඳහා විශේෂිත තාක්ෂණික විශේෂඥ කණ්ඩායමක් සහ අත්‍යවශ්‍ය උපකරණ තොගයක් ද රැගෙන එන ලදි.
මෙරටට පැමිණි ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි, ගරු Julie Chung මැතිණිය, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය, ගරු මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු යන මහත්ම මහත්මීන් සහභාගී වී සිටියහ.
තාක්ෂණික විශේෂඥයන්ගෙන් සමන්විත මෙම එක්සත් ජනපද කණ්ඩායම ආධාර බෙදාහැරීම කඩිනම් කිරීම, යටිතල පහසුකම් තක්සේරු කිරීම සඳහා විශේෂිත සහාය ලබාදීම සහ මෑත කාලීන අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පසු ජාතික යථා තත්ත්වයට පත්කිරීමේ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ සමීපව සම්බන්ධීකරණයෙන් කටයුතු කරනු ඇත.
එහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ඇමරිකා එක්සත් ජනපද රජයේ කඩිනම් ප්‍රතිචාරය පිළිබඳව සිය ස්තූතිය පළ කළ අතර, "උසස් තාක්ෂණික විශේෂඥ දැනුම සහ උපකරණ යොදවමින් සහයෝගය දැක්වීම තුලින් දෙරට අතර පවතින මිත්‍රත්වය සහ හවුල්කාරිත්වය පිළිබඳ මනාව විදහා දැක්වෙන වන අතර, අපගේ පීඩාවටපත් ප්‍රජාවන් වෙත ළඟාවීමට සහ ඔවුන් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කෙරෙන ජාතික ධාරිතාවන් සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරයි." යනුවෙන් ප්‍රකාශ කළේය.
මෙම C-130 ගුවන් යානා යෙදවීම, 'Rebuild Sri Lanka' නැවත ශ්‍රී ලංකාව ගොඩනැගීමේ වැඩසටහනට සහාය වීම අරමුණු කරගත් ඇමරිකා එක්සත් ජනපද රජයේ පුළුල් ආධාර වැඩසටහන් මාලාවේ එක් තීරණාත්මක අංගයකි.
මෙම අවස්ථාවට ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.