හදිසි ආපදා ප්‍රතිචාර මෙහෙයුම් ක්‍රියාවලිය සහ සහන බෙදාහැරීමේ පහසුකම්
ආරක්‍ෂක ලේකම්වරයාගේ නිරීක්‍ෂණයට
දෙසැම්බර් 07, 2025
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ආපදා සම්බන්ධීකරණ ඇමතුම් මධ්‍යස්ථානය සහ ජාතික හදිසි ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන ජාතික ආපදා ප්‍රතිචාර වැඩසටහන්වල අඛණ්ඩ සම්බන්ධීකරණ ක්‍රියාවලිය නිරීක්‍ෂණය කිරීමේ අරමුණින්, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අද (දෙසැම්බර් 07) දින එම මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූයේය.
එහිදී ආරක්‍ෂක ලේකම්වරයා මධ්‍යස්ථාන දෙකෙහිම මෙහෙයුම් කටයුතු නිරීක්‍ෂණය කළ අතර, රාජකාරියේ නියුතු කාර්ය මණ්ඩල සාමාජිකයන් සමඟ සාකච්ඡා කරමින් පවතින අභියෝග පිළිබඳව විමසා බැලීය. එමෙන්ම, වත්මන් සහන මෙහෙයුම් අතරතුර හදිසි සන්නිවේදන හා ප්‍රතිචාර යාන්ත්‍රණයන් කළමනාකරණය කිරීමේදී ඔවුන්ගේ කැපවූ සේවය ආරක්‍ෂක ලේකම්වරයාගේ පැසසුමට ලක්විය. රට යළි ප්‍රතිසංස්කරණය කිරීමේ 'Rebuild Sri Lanka' ජාතික ප්‍රයත්නයට අඛණ්ඩව සහාය වෙමින්, කැපවීමෙන් හා කාර්යක්‍ෂමතාවයෙන් යුතුව තම රාජකාරි ඉදිරියටත් සිදුකරන ලෙස ඔහු එම මධ්‍යස්ථානවල සේවයේ නියුතු සාමාජිකයන් දිරිමත් කළේය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සිදුකල නිරීක්‍ෂණ චාරිකාවෙන් අනතුරුව ආරක්‍ෂක ලේකම්වරයා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් පවත්වාගෙන යනු ලබන ඔරුගොඩවත්ත ගබඩා සංකීර්ණය වෙත ද ගියේය. එහිදී ආරක්‍ෂක ලේකම්වරයා සහන ද්‍රව්‍ය ගබඩා කිරීමේ සහ බෙදාහැරීමේ ක්‍රියාවලිය නිරීක්‍ෂණ චාරිකාවකට ලක් කරමින්, සැපයුම් කටයුතු සහ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ප්‍රදේශවලට අත්‍යවශ්‍ය සැපයුම් ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳ විමසා බැලීය.
එහි සේවයේ නියුතු නිලධාරීන් හා අනෙකුත් සාමාජිකයන් ඇමතූ ආරක්‍ෂක ලේකම්වරයා, සාධාරණ සහ වගවීමෙන් යුතු සහන සේවා කළමනාකරණයේ වැදගත්කම අවධාරණය කරමින්, අවශ්‍යතා සහිත ජනතාව වෙත නියමිත වේලාවට අත්‍යවශ්‍ය ආධාර ලබා දීම සඳහා සියලු බෙදාහැරීමේ කටයුතු විනිවිදභාවයෙන් හා ඵලදායීව සිදුකරන බවට සහතික වන ලෙස අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.
තවද, දැනට එම මධ්‍යස්ථානයේ සේවය සඳහා යොදවා සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධන කටයුතු ද පරීක්‍ෂා කළ ආරක්‍ෂක ලේකම්වරයා, ආපදා තත්ත්වය තුල මෙන්ම ඉන් පසු ගෙවුණු කාලසීමාව තුල ජනතාව වෙත සහන සැලසීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් දැක්වූ දායකත්වය අගය කරමින්, ඉදිරියේදීත් කැපවීමෙන් තම සේවය අඛණ්ඩව සිදුකරන ලෙස ඔවුන් දිරිමත් කර සිටින ලදි.