ශ්‍රී ලංකාවේ ආපදා සහන මෙහෙයුම් ශක්තිමත් කිරීමට චීන රජයෙන්
මානුෂීය ආධාර තොගයක් පරිත්‍යාග කෙරේ

දෙසැම්බර් 08, 2025

රටේ ප්‍රදේශ කිහිපයකට පසුගිය දිනවල බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයන්ගෙන් පසු අඛණ්ඩව සිදුකෙරෙන ආපදා සහන හා ප්‍රතිසාධන මෙහෙයුම් සඳහා කාලෝචිත සහයෝගයක් ලබා දෙමින්, මහජන චීන සමූහාණ්ඩුව විසින් ලබාදෙන මානුෂීය ආධාර තොගයක්, අද (දෙසැම්බර් 08) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකාව වෙත නිල වශයෙන් භාරදෙන ලදි.

මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති අතිගරු Qi Zhenhong මැතිතුමා විසින් ගුවන්තොටුපළේ පැවති කෙටි උත්සවයකදී නිලවශයෙන් මෙම ආධාර තොගය මෙරට නිලධාරීන් වෙත භාර දුන්නේය.

වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මැතිතුමා, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ සභාපති එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම (විශ්‍රාමික) සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික) මෙම අවස්ථාවට සහභාගී වූහ.

එහිදී අදහස් දැක්වූ තානාපති අතිගරු Qi Zhenhong මැතිතුමා, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ශක්තිමත් සහ දීර්ඝකාලීන මිත්‍රත්වය යළි තහවුරු කළ අතර, දෙරට අතර පවතින අඛණ්ඩ සහයෝගීතාවය සහ අන්‍යොන්‍ය උපකාරීත්වය පිළිබඳ කරුණු ඉස්මතු කළේය. ජාතික අවශ්‍යතාවක් සහිත මෙවැනි අවස්ථාවලදී ශ්‍රී ලංකාවට පූර්ණ සහාය දැක්වීමට චීන රජයේ කැපවීම පිළිබඳව ද ඔහු යළිත් අවධාරණය කළේය.

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මෙහිදී අදහස් දක්වමින්, අතිගරු ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙම කාලෝචිත මානුෂීය ආධාර ලබාදීම වෙනුවෙන් චීන රජය සහ සමස්ත චීන ජනතාව වෙත සිය කෘතඥතාව පළ කළේය. අතීතයේ පටන් චීනය විසින් ශ්‍රී ලංකාව වෙත දක්වනු ලබන අඛණ්ඩ සහයෝගය අගය කළ ඔහු, මෙම උපකාරය ජාතික ආපදා සහන ප්‍රයත්නයන්ට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනු ඇති බවද සඳහන් කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය, ආරක්‍ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙන්ම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිපාලනය භාර නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.