එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර ආපදා කළමනාකරණ සහ ආරක්‍ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කරයි

දෙසැම්බර් 08, 2025

ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් රාජධානියේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Keith Miles, අද (දෙසැම්බර් 08) දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය. මෙම හමුවේ ප්‍රධාන අරමුණ වූයේ විශේෂයෙන්ම එක්සත් රාජධානියේ රජය පාර්ශ්වයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන ආපදා කළමනාකරණ වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කෙරෙන සහයෝගීතාව සහ ආරක්‍ෂක සහයෝගීතාව ඉහළ නැංවීමට අදාළ කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමයි.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින්, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සහ අනෙකුත් රාජ්‍ය ආයතන විසින් මෙහෙයවනු ලබන ජාතික ප්‍රතිචාර යාන්ත්‍රණ සහ අඛණ්ඩව සිදුකෙරෙන ගලවා ගැනීමේ, සහන සහ ප්‍රතිසාධන ප්‍රයත්නයන් පිළිබඳව විස්තර කරමින්, සිදු වූ ස්වාභාවික ව්‍යසනයෙන් පසු වර්තමානයේ පවතින සමාජීය තත්ත්වය පිළිබඳව කර්නල් Miles දැනුවත් කරන ලදි. පීඩාවට පත් ජනතාව වෙත නියමිත වේලාවට ආධාර සැපයීම සහතික කිරීම සඳහා ඵලදායී සම්බන්ධීකරණයේ හදිසි අවශ්‍යතා පිළිබඳව මෙහිදී ඔහු අවධාරණය කළේය.

මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට එක්සත් රාජධානියේ ඇති කැපවීම කර්නල් Miles විසින් යළි තහවුරු කළේය. එමෙන්ම පීඩාවට පත් පවුල්වලට සහාය වීම සඳහා අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය ලබාදීමට එක්සත් රාජධානිය අදහස් කරන බව ද ඔහු දැනුම් දුන්නේය. එමගින් අඛණ්ඩව සිදුකෙරෙන මානුෂීය මෙහෙයුම් සඳහා දායක වෙමින්, ව්‍යසනයට ලක් වූ දහස් ගණනක් වූ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීමට උපකාරී වනු ඇත.

මෙම සාකච්ඡාවේදී අනාගත ව්‍යසන තත්ත්වයන්ට මුහුණදීම සඳහා අවශ්‍ය වන පෙර සූදානම, ප්‍රතිචාරය සහ ප්‍රතිසාධනය සඳහා වන සහයෝගීතා මාර්ග සම්බන්ධයෙන් ද විමසා බලන ලදි. පවතින අභියෝග හමුවේ ඉදිරි මාසවලදී ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීමට සහ මනාව සම්බන්ධීකරණය කරන ලද ආපදා කළමනාකරණ හැකියාවන් වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අවශ්‍යතා පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා දෙන මෙන් කර්නල් Miles ඉල්ලා සිටියේය.

එමෙන්ම පසු ආපදා තත්ත්වය තුළ මානුෂීය සහයෝගීතාවයට අමතරව, දෙරට අතර ආරක්‍ෂක සබඳතා පුළුල් කිරීම දක්වා මෙම සාකච්ඡා විහිදී පැවැත්විණ. ආරක්‍ෂක ක්ෂේත්‍රයේ වෘත්තීයභාවය සහ මෙහෙයුම් සූදානම ශක්තිමත් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා උසස් හමුදා පුහුණු වැඩසටහන් ලබා දීමට එක්සත් රාජධානියේ සැලසුම් පිළිබඳව ද කර්නල් Miles විසින් අදහස් හුවමාරු කර ගත්තේය.