වගවීම සහ විනිවිදභාවය තහවුරු කරමින් ලැබෙන සියලුම විදේශ ආධාර සම්බන්ධීකරණයට කමිටුවක් පත් කෙරේ

දෙසැම්බර් 09, 2025

වගවීම සහ විනිවිදභාවය තහවුරු කරමින් ලැබෙන සියලුම විදේශ ආධාර සම්බන්ධීකරණය සඳහා නවතමයෙන් පත් කරන ලද කමිටුව (HL-FRAC) පසුගිය දෙසැම්බර් 08 වන දින කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී රැස් විය. මෙහි අරමුණ වූයේ, ආපදාවෙන් පීඩාවට පත් ප්‍රජාවන් වෙත විදේශීය සහන ආධාර ලබා ගැනීම, සම්බන්ධීකරණය කිරීම සහ බෙදා හැරීම සඳහා වන ජාතික ක්‍රියාවලිය ශක්තිමත් කිරීමයි.

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව, ලැබෙන සියලුම විදේශීය ආධාර ප්‍රමාදයකින් තොරව පීඩාවට පත් වූ සහ අවදානමට ලක් වූ කණ්ඩායම් වෙත ළඟා වන බව සහතික කිරීම සඳහා කාර්යක්‍ෂම, විනිවිදභාවයෙන් සහ වගවීමකින් යුතු ක්‍රියාමාර්ගයන් ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමු කළේය.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද මීට සහභාගී වූ අතර, එහිදී අදහස් දක්වමින් ආපදා සහන සේවා කළමනාකරණයේ මෙහෙයුම් සහ සැපයුම් අංශ පිළිබඳව මූලික අදහස් කිහිපයක් ඉදිරිපත් කළේය. විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදා ප්‍රමුඛ ආරක්‍ෂක අංශයේ ප්‍රවීණත්වය මත පදනම් වූ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම මඟින් වඩා හොඳ අධීක්‍ෂණයක් සහිත වඩාත් ඵලදායී බිම් මට්ටමේ සහන සේවා සැපයීමට හැකි බව මෙහිදී කමිටුව විසින් අවධාරණය කරනු ලැබීය.

සාකච්ඡාවේදී මෙරටට ලැබෙන විදේශීය ආධාර කළමනාකරණය කිරීම සඳහා මධ්‍යගත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට සාමාජිකයින් එකඟ වූ අතර, පීඩාවට පත් ප්‍රජාවන් තුළ ඇති නිශ්චිත අවශ්‍යතා හඳුනා ගැනීමට හා ආපදා බලපෑමේ ස්වභාවය මත පදනම්ව ප්‍රමුඛතා කලාප පිළිබඳ යාවත්කාලීන ලැයිස්තුවක් සකස් කිරීම තුලින් ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කීරීමටත් තීරණය විය. 

සහනාධාර ලැබීමේ සිට අවසාන බෙදා හැරීම දක්වා ඒවා පිළිබද නිරීක්‍ෂණය කිරීම සඳහා පුළුල් සටහන් කළමනාකරණ සහ අධීක්‍ෂණය කිරීමේ පද්ධතියක් ද හඳුන්වා දෙන ලදි. මෙමගින් කාලීන වාර්තාකරණ ව්‍යුහයේ විනිවිදභාවය ශක්තිමත් කිරීම, නිවැරදි ලියකියවිලි සහතික කිරීම සහ සහන මෙහෙයුම් කෙරෙහි මහජන විශ්වාසය ගොඩනැගීම අපේක්‍ෂා කෙරේ.

ජාතික ආපදා සහන ප්‍රයත්නවල සාර්ථකත්වය සහ සඵලතාවය උපරිමයෙන් ඉහළ නැංවීමට මෙන්ම, ආධාර බෙදා හැරීමේ ක්‍රියාවලියේ අඛණ්ඩතාව සහ ගෞරවය පවත්වා ගැනීම සදහා ප්‍රධාන සාධක වන වගවීම, විනිවිදභාවය සහ කාලෝචිත ක්‍රියාත්මක කිරීම් උපයෝගී කරගත යුතු බව කමිටුව විසින් මෙම අවස්ථාවේ අවධාරණය කර සිටින ලදී.

ජනාධිපති ලේකම් කාර්යාලය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අතිරේක ලේකම් සහ අධ්‍යක්‍ෂ ජනරාල්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම රැස්වීමට සහභාගී වූහ.