විදේශ සහන ආධාර (සැපයුම්) සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුව (HL-FRAC) කටයුතු අරඹමින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ගබඩා සංකීර්ණය පරික්‍ෂා කරයි
දෙසැම්බර් 12, 2025ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අද (දෙසැම්බර් 12) දින, ආපදා සහන ආධාර ගබඩා කිරීමේ සහ බෙදාහැරීමේ ක්‍රියාවලිය නිරීක්‍ෂණය කිරීමේ අරමුණින් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC) විසින් මෙහෙයවනු ලබන ඔරුගොඩවත්ත ගබඩා සංකීර්ණයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.
එහිදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් එම මධ්‍යස්ථානයේ සැපයුම් සම්බන්ධීකරණ කටයුතු විමසා බැලූ අතර, ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ප්‍රදේශ වෙත අත්‍යවශ්‍ය සහන සැපයුම් යැවීමේ ක්‍රියාවලිය නිරීක්‍ෂණය කළේය. ඔහු එම මධ්‍යස්ථානය පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව, සැපයුම් මෙහෙයුම් තවදුරටත් විධිමත් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය. භාණ්ඩ හැසිරවීමේ ක්‍රියාවලිය තුල පවතින දෝෂ අවම කිරීම සහ නිරවද්‍යතාවය සහතික කිරීම සඳහා, මෙරටට ලැබෙන සියලු ආධාර තොග ගුවන්තොටුපළේදී හෝ වරායේදී මෙන්ම ගබඩා පහසුකම් තුළදී ද පරීක්‍ෂා කොට, ගණන් කිරීමෙන් අනතුරුව, මුද්‍රා තැබිය යුතු බව ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, ගබඩා සංකීර්ණය වෙත ගෙන එන සහ ජනතාව වෙත බදහැරිම සඳහා ඉන් පිටතට ගෙන යන සහන ද්‍රව්‍ය සුමටව හා සුරක්‍ෂිතව හැසිරවීම සහතික කිරීම සඳහා භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන රථ වාහන ගමනාගමනය නිරීක්‍ෂණය කරන ලෙස ද ඔහු ස්ථාන භාර පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය. තවද, ගබඩා පහසුකම් සංකීර්ණයේ සැපයුම් ක්‍රියාවලිය අධීක්‍ෂණය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් පත් කරනු ඇත. එහි සේවය සඳහා අනුයුක්ත කොට ඇති පුද්ගලයන් සඳහා ප්‍රමාණවත් ජීවන හා සනීපාරක්‍ෂක පහසුකම් සහතික කරන ලෙස ද නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
විදේශ සහන ආධාර (සැපයුම්) හා ආපදා සහන ද්‍රව්‍ය බෙදාහැරීමේ ක්‍රියාවලිය සම්බන්ධීකරණය සඳහා පිහිටුවන ලද ජ්‍යෙෂ්ඨ කමිටුවේ කටයුතු සක්‍රීයව ආරම්භ කරමින් මෙම නිරීක්‍ෂණ චාරිකාව සිදුකෙරිණ. පසුගිය දෙසැම්බර් 8 වන දින පිහිටුවන ලද මෙම කමිටුව, එදින සිය සමාරම්භක රැස්වීම පැවැත්වූ අතර, ඉන් අනතුරුව පසු විමර්ශන සාකච්ඡා ද පැවැත්වීය.
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මෙම කමිටුවේ මූලිකත්වය දරනු ලබන අතර, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ලේකම් කාර්යාලයක් හරහා මෙහෙයවනු ලබන මෙම කමිටුව මගින්, පසුගියදා ඇති වූ ස්වභාවික ආපදා තත්ත්වයෙන් පසු මෙරටට ලැබෙන සියලුම විදේශීය මානුෂීය සහන ආධාර සම්බන්ධීකරණය කිරීම සහ නිසි පරිදි බෙදාහැරීමේ වගකීම දරනු ලබයි. ආධාර තොග ලබාගැනීම සහ ප්‍රමිතිය තහවුරු කිරීමේ පටන් එම ද්‍රව්‍ය ගබඩා කිරීම, වෙන් කිරීම, අවශ්‍ය ප්‍රදේශ වෙත පිටත් කර හැරීම සහ අවසානයේ ජනතාව වෙත බෙදාදීම දක්වා සමස්ථ සහන සැපයුම් ක්‍රියාවලියම මේ යටතේ අධීක්‍ෂණය කෙරේ.
තවද, මෙම කමිටුව විසින් සියලුම සැපයුම් තත්‍ය කාලීනව අධීක්‍ෂණය කිරීම සඳහා විදේශ ආපදා සහන ආධාර ලුහුබැඳීමේ පද්ධතියක් (Foreign Aid Tracking System) ද ක්‍රියාත්මක කරන අතර, ඒ අනුව නවතම සත්‍යාපිත තොරතුරු ලැබෙන බව සහතික කිරීම සඳහා, විෂය භාර අමාත්‍යාංශ, පළාත් සහ දිස්ත්‍රික් පරිපාලන බලධාරීන් විසින් නිසිලෙස අළුත් කරන ලද දත්ත වාර්තා මෙම පද්ධතියට ඇතුළත් කිරීම සිදුකරනු ලබයි. තවද, ආපදා සහන සැපයුම් සේවාවන් සම්බන්ධයෙන් අදාළ තොරතුරු ලබා ගැනීමට, නිලධාරීන් කැඳවීමට සහ හදිසි අවස්ථාවලදී අවශ්‍ය පරිදි තාවකාලික නියෝග නිකුත් කිරීමට ද කමිටුවට බලය පවරා ඇත.