ජාතික ආපදා සහන මෙහෙයුම් සඳහා Hayleys සමූහ ව්‍යාපාරයට අයත් Dipped Products PLC සමාගමෙන් ආරක්‍ෂිත අත්වැසුම් 50,000ක් පරිත්‍යාග කරයි
දෙසැම්බර් 12, 2025Hayleys සමූහ ව්‍යාපාරයට අයත් Dipped Products PLC සමාගම විසින් ආපදා සහන මෙහෙයුම් වෙනුවෙන් භාවිතා කළ හැකි කර්මාන්ත ශ්‍රේණියේ ආරක්‍ෂිත අත්වැසුම් 50,000 ක තොගයක් අද (දෙසැම්බර් 12) දින ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.
මෙම අත්වැසුම් තොගය, Hayleys සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ මොහාන් පණ්ඩිතගේ සහ Dipped Products PLC සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ පුශ්පික ජනධීර යන මහත්වරුන් විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) වෙත භාර දෙන ලදි.
ගංවතුරෙන් හානියට පත් ප්‍රදේශවල සහන සේවාවන්හි නිරත හමුදා සාමාජිකයන් සහ අනෙකුත් ස්වේච්ඡා සේවකයන් හට තම සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව ආරක්‍ෂා කරගනිමින් ආපදාවන්ට ලක්වූවන් මුදා ගැනීමේ, එම ප්‍රදේශ හා නිවෙස් පිරිසිදු කිරීමේ සහ පුනරුත්ථාපන කටයුතුවල නිරත වීම සඳහා උපකාරී වනු ඇත.
ගෝලීය වෙළෙඳපොළට ආරක්‍ෂක අත්වැසුම් සපයන ප්‍රමුඛ පෙළේ නිෂ්පාදකයකු ලෙස, Dipped Products PLC ආයතනය, ආපදා තත්ත්වයෙන් යළි ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන හමුදා සාමාජිකයන්ගේ මෙන්ම සියලු ස්වේච්ඡා සේවකයන්ගේ සනීපාරක්‍ෂාව පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ද එක්ව සිටියේය.