ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය වෙත ලැබුණු වෛද්‍ය උපකරණ අනුරාධපුර ශික්‍ෂණ රෝහල සහ මාරවිල මූලික රෝහල වෙත භාර දෙයි

දෙසැම්බර් 14, 2025

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ සම්බන්ධීකරණය යටතේ, ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත ලැබුණු වෛද්‍ය ආධාර තොගයක් රජයේ රෝහල් දෙකක් වෙත නිල වශයෙන් භාර දෙන ලදි.

ඒ අනුව, අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ තැලසීමියා ප්‍රතිකාර ඒකකය වෙත කුඩා අල්මාරි (bedside lockers) අද (දෙසැම්බර් 14) දින ද, මාරවිල මූලික රෝහල වෙත දැඩි සත්කාර ඒකක සඳහා භාවිතා කෙරෙන ඇඳන් (ICU beds) පසුගියදා (දෙසැම්බර් 12) දින ද භාර දෙනු ලැබිණි.

ආරක්‍ෂක අමාත්‍යාංශය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය අතර පවතින සමීප සබඳතා පිළිබිඹු කරමින්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජිතයින් පිරිසක් විසින් මෙම පරිත්‍යාග කරන ලද භාණ්ඩ එම රෝහල් වල පැවති කෙටි උත්සව අතරතුර අදාළ රෝහල් බලධාරීන් වෙත සංකේතාත්මකව භාර දෙන ලදි.

මෙම වැඩසටහන මඟින්, සේවා වනිතා ඒකකය හරහා මහජන සෞඛ්‍ය ආයතන සඳහා සහය දැක්වීමට සහ රට පුරා රෝගී සත්කාර වැඩිදියුණු කිරීම සඳහා නියමිත වේලාවට සහ අර්ථවත් අන්දමින් අවශ්‍ය ආධාර ලබා දීමට ආරක්‍ෂක අමාත්‍යාංශයේ අඛණ්ඩ කැපවීම අවධාරණය කෙරේ.