මානුෂීය මෙහෙයුම් සඳහා පැමිණි ඇමරිකානු හා ඉන්දීය
ගුවන් හමුදා යානා දිවයිනෙන් පිටත් වෙයි

දෙසැම්බර් 15, 2025

දිවයිනට බලපෑ 'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ මෙරට ක්‍රියාත්මක කෙරුණු සහන සේවා කටයුතුවලට සමගාමිව විශේෂ ගුවන් මෙහෙයුම්, මුදවා ගැනිමේ මෙහෙයුම් හා ආපදා සහන සේවා කටයුතු සඳහා විවිධ රටවලින් මහඟු දායකත්වයක් ලබා දුන් අතර, පසුගිය දෙසැම්බර් 07 වන දින සිට දෙසැම්බර් 13 වන දින දක්වා කාලසීමාව තුල ආපදා සහන සේවා කටයුතු සඳහා සහාය වීමේ අරමුණින් ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් C-130J ගුවන් යානා දෙකක් සමඟින් මැරීන් භටයන් 60 දෙනෙකුගෙන් සමන්විත සහන සේවා කණ්ඩායමක් දිවයිනට ළඟා විය.

එම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා මගින් කටුනායක හා රත්මලාන ගුවන් හමුදා කඳවුරුවල සිට යාපනය, අනුරාධපුර, ත්‍රිකුණාමලය සහ අම්පාර යන ගුවන් හමුදා කඳවුරු වෙත අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ගුවන් මෙහෙයුම් සිදුකරමින් ආපදාවට පත්ව සිටි ජනතාවට සහාය වීම සඳහා සුවිශේෂී මානුෂීය මෙහෙයුම් දියත් කළ අතර, ඉන් එක් ගුවන් යානයක් සිය මෙහෙයුම් අවසන් කරමින් ඊයේ (දෙසැම්බර් 14) දින, සහන සේවා කණ්ඩායමේ කොටසක් ද සමඟින් යළි දිවයිනෙන් පිටත්ව ගියේය. 

තවද, ශ්‍රී ලංකාවට සුළි කුණාටුවෙන් බලපෑම් ඇති වූ පළමු මොහොතේ පටන්, ඉන්දීය රජයේ මැදිහත්වීමෙන් ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් අත්‍යවශ්‍ය සහන සේවා සැපයීම සඳහා එරට ගුවන් හමුදාවේ MI-17 හෙලිකොප්ටර් යානා දෙකක් යොදවනු ලැබිය. මෙම හෙලිකොප්ටර් යානා මගින් දින ගණනාවක් මුළුල්ලේ අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින්, විශේෂ ගලවා ගැනීමේ හා සහන සේවා මෙහෙයුම්, පීඩාවට පත් සිවිල් වැසියන් අවධානම් සහිත හා ආපදාවට ලක් වූ ප්‍රදේශවලින් ඉවත් කර ගැනීම මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා භාණ්ඩ ප්‍රවාහනය, ඇතුළු මානුෂීය ගුවන් මෙහෙයුම් රාශියක් සිදුකිරීමෙන් අනතුරුව දිවයිනෙන් පිටව ගියහ. අනතුරුව මෙම මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට සිදුකිරීම සඳහා ඉන්දීය ගුවන් හමුදාවේ තවත් MI-17 හෙලිකොප්ටර් යානයක් දෙසැම්බර් 08 වන දින මෙරටට ළඟා විය. එම යානාව මගින් ද තවත් සුවිශේෂී මෙහෙයුම් රාශියක් සිදුකිරීමෙන් පසු ඊයේ (දෙසැම්බර් 14) දින යලි ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකාවට බලපෑ මෙම ස්වභාවික ව්‍යාසනය හමුවේ අපගේ මිත්‍ර පාර්ශ්වික රටවල් විසින් ගුවන් මෙහෙයුම් සිදුකිරීම සඳහා ලබා දුන් සුවිශේෂී දායකත්වය තුලින් මෙම ආපදාවට ලක් වූ සියලු දෙනාගේ ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා මහඟු පිටුවහලක් ලැබිණ. මෙම විශේෂ ආපදා සහන ක්‍රියාන්විතය පුරාවට දැක්වූ අඛණ්ඩ සහයෝගීතාවය හා විශිෂ්ඨ සේවය වෙනුවෙන් ඇමෙරිකානු හා ඉන්දීය රජයට මෙන්ම ගුවන් මෙහෙයුම් සඳහා දායකත්වය ලබා දුන් සියලු කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත ආරක්‍ෂක අමාත්‍යාංශය සිය හෘදයාංගම ස්තුතිය ප්‍රකාශ කර සිටී.

ඇමෙරිකානු හා ඉන්දීය ගුවන් හමුදා ගුවන් යානා දිවයිනෙන් පිටව යන මොහොතේ, සහන සේවා කණ්ඩායම් වෙත කෘතඥතාව පළ කිරීම සඳහා, ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර ඇතුළු ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.